Home » ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික බැඳීම් ඉහළයි

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික බැඳීම් ඉහළයි

-ශ්‍රී ලංකාව රුසියානු මාධ්‍ය හමුවේ කියයි

by sachintha
April 17, 2025 1:53 am 0 comment

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාව සමන්විත වන්නේ වෙරළ තීරයන්ගෙන් පමණක් නොවන බව ශ්‍රී ලංකාව, රුසියානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි.

Òසංචාරක: ආසියාවÓ යන මාතෘකාව යටතේ කොම්සොමොල්ස්කයා ප්‍රව්ඩා වට මේස සාකච්ඡාවේ දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ෂොබිනි ගුණසේකර මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කොම්සොමොල්ස්කයා ප්‍රව්ඩා යනු සතිපතා මිලියන 53.9ක ප්‍රේක්ෂක පිරිසක් සිටින රුසියාවේ ප්‍රසිද්ධ මාධ්‍ය සමූහයක් වන අතර එම මාධ්‍ය සමූහයේ 100 වැනි සංවත්සරය සැමරීමට මේ උත්සවය පවත්වා තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2023 සාක්ෂාත් කර ගැනීමට විවිධ මාතෘකා සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින්, 2022 දී රුසියානු සමූහාණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් වොස්ටොක් සාකච්ඡා සමාජය ක්‍රියාත්මක කර ඇත.

මේ සාකච්ඡාවේ දී අසර්බයිජානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, කසකස්තානය, මැලේසියාව සහ උස්බෙකිස්තානය ඇතුළු රුසියානු සංචාරකයන්ට ජනප්‍රිය සංචාරක ගමනාන්තයන්හි රටවල තානාපතිවරුන් සහ නියෝජිතයන් එක්රැස් වී තිබේ. ආසියානු – පැසිෆික් කලාපයේ ඓතිහාසික, සංස්කෘතික,ආගමික සහ ආහාරමය සම්ප්‍රදායන්හි පොහොසත් උරුමයන් ගවේෂණය කිරීම මේ සාකච්ඡාවේ අරමුණ වී තිබෙන අතර, රුසියානු සමූහාණ්ඩුව සහ අදාළ රටවල් අතර අපේක්ෂා සහ අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීම මෙන්ම තිරසර කෝණය සලකා බැලීම ද සිදු කර ඇත.

ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර මහත්මිය, ශ්‍රී ලංකාව හුදෙක් වෙරළ නිවාඩුවකට වඩා වැඩි සජීවී ගමනාන්තයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබෙන අතර තේ වතු, සුවතා සංචාරක ව්‍යාපාරය, ත්‍රාසජනක අත්දැකීම්, සොබාදහම සහ වනජීවීන්, පොහොසත් සංස්කෘතිය සහ උත්සව, ආහාරපාන ඇතුළු දිවයිනේ ස්පර්ශ නොකළ සංචාරක ස්ථාන සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ඇය කරුණු දක්වා තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාව විවාහ මංගල්‍යයන් හෝ සංචාරක ව්‍යාපාරයේ සතුට සමඟ ඒකාබද්ධ කිරීමට අද්විතීය ගමනාන්තයක් බව ද ඇය අවධාරණය කර තිබෙන අතර, ශ්‍රී ලංකාව සංචාරකයන්ට වෙරළ නිවාඩුවකට වඩා වැඩි යමක් දෙමින් සංචාරක ව්‍යාපාරය සංස්කෘතීන් අතර සැබෑ පාලමක් බවට පත්වන රටක් බව ද සඳහන් කර ඇත. සංස්කෘතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරමින් ජීවනෝපායන් සැපයීමේ දී සංචාරක කර්මාන්තයේ වැදගත් කාර්යභාරය පිළිබඳව ද ඒ මහත්මිය කරුණු දක්වා තිබේ.

වගකිවයුතු ජාතියක් ලෙස ශ්‍රී ලංකාව අනාගත පරම්පරාවන් සඳහා එහි ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙන අතර, තිරසර සංචාරක පිළිවෙත් සඳහා පෙනී සිටින බව ද ඇය සඳහන් කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT