බෙලරුස්, ගෝමෙල් නගරයේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන ගෝමෙල් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවෝ එහිදී සිංහල-දෙමළ අලුත් අවුරුද්ද උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබූහ. ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ හා විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති මේ උත්සවය ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය සහ REC Campus බෙලරුස් ශාඛාව විසින් ඒකාබද්ධව සංවිධාන කරනු ලැබූ අතර එයට REC Campus විසින් අනුග්‍රහය ලබා දී තිබුණි.
අවුරුදු චාරිත්‍රවලට මුල්තැන දෙමින් විශ්වවිද්‍යාල ප්‍රධාන ශාලාව සරසා තිබූ අතර, රසවත් අවුරුදු කෑම වර්ගවලින් අවුරුදු මේසයක්ද සකසා තිබුණි. බෙලරුස් පුරවැසියන් බොහෝ දෙනෙක් ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ආහාර රස බැලූ අවස්ථාව එය විය. මේ උත්සවය එකිනෙකට ආදරයෙන් පිරුණු සංස්කෘතික හුවමාරුවක් බවට පත්විය. ගෝමෙල් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ආචාර්ය ඉගෝර් ස්ටෝමා, නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය ස්වෙට්ලානා ආනාෂ්කිනා, ආචාර්ය මෙල්නික්, පීඨාධිපති ආචාර්ය ඇන්ඩ්‍රේ මිහාලිච් සහ REC Campus හි නියෝජිතයන් වන මියිත්‍රි සහ සර්ගේයි ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
රන්මලී සෝමසිරි