සංචාරක ව්‍යාපාරය එක් එක් කලාපවල ප්‍රවර්ධනය කිරීමට පළාත්වල ආණ්ඩුකාරවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියට ක්‍රියාත්මක කළයුතු සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මේ සඳහා සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහත්වරු ද එක්වූහ.
සංචාරක පැමිණීම් තවදුරටත් ඉහළ නැංවීමට සහ රටපුරා සංචාරක නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට සංචාරක සංවර්ධන ව්‍යාපෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම මෙන්ම තිරසර පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබේ. ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන සංචාරක අංශයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීම සඳහා සාමූහික කැපවීම මෙහිදී අවධානයට යොමුව ඇත.
මෙහිදී ඇමැතිවරයාගේ උපදෙස් අනුව හඳුනාගත් අභියෝගවලට මුහුණදීමට අමාත්‍යාංශයේ සහ කොළඹ පදනම් කරගත් සංචාරක ආයතනවල කණ්ඩායම් විසින් නිතිපතා පළාත් මට්ටමේ උපදේශන පවත්වන යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ආණ්ඩුකාරවරුන් ඒ ඒ පළාත්වල අවශ්‍යතා, සංචාරක අංශවල අවස්ථා සහ අභියෝග පිළිබඳව සැසියේ දී කරුණු දක්වා තිබෙන අතර, සංචාරක නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට සහ කලාපීය අභියෝගවලට මුහුණදීමට ප්‍රයෝජනවත් ක්‍රම කිහිපයක් යෝජනා කර ඇත.
මහාචාර්ය රුවන් රණසිංහ මහතා එහිදී අදහස් දක්වමින් වැඩිවන සංචාරකයන් සංඛ්‍යාව අවශෝෂණය කර ගැනීමට සංචාරක ව්‍යාපාරයේ තිරසර සංවර්ධනයේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙන අතර, විධිමත් අංශයට අවිධිමත් අංශය සම්බන්ධීකරණය හා අවශෝෂණය කිරීමේ තීරණාත්මක අංගය අවධාරණය කර ඇත. ඊට අමතරව පළාත් පරිපාලනයේ සහාය ඇතිව ග්‍රාමීය ප්‍රදේශවලට ආයෝජන අවශ්‍ය බව ද සඳහන් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය –
මෙහිදී කලාපවල සංචාරක අංශය සංවර්ධනය කිරීම, රැකියා නිර්මාණය කිරීම සහ ජනතාවට ආදායම් උත්පාදනය කිරීම මඟින් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම සහතික කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පෙන්වා දුන්නාය. කලාපයේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යෑමට උපකාරී වන සම්පත් ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මෙන්ම එහි සුවිශේෂත්වය සහ විශේෂ ලක්ෂණ හඳුනාගැනීමේ අවශ්‍යතාව ඒ මහත්මිය අවධාරණය කළාය.
සංචාරක කර්මාන්තයේ සේවා ධාරිතාව පවත්වාගැනීම සඳහා මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ඇය සඳහන් කර තිබෙන අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) මෙන්ම ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) මේ අවස්ථාවට එක්ව තිබේ.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර යූ.ජී.ඩබ්ලිව්.කේ.විමලසිරි ජිනදාස, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වෙදනායහන් යනාදී මහත්ම මහත්මීහු ද පළාත් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.
මහින්ද අලුත්ගෙදර