Sunday, April 20, 2025
Home » ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න

by sachintha
April 17, 2025 1:48 am 0 comment

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කටයුතු සඳහා පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පත්කර ඇත.

මෙම කමිටුව පත්කිරීම සඳහාවූ යෝජනාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මූලික සාකච්ඡාවක්ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.

නව පනත, ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණ දිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර, අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා වූ මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කරන ලද මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් කඩනොවන ආකාරයේ පනතක් විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පසුගිය කාලයේ පැවති ආණ්ඩු මෙම සංශෝධන නීති ගෙන ඒම සඳහා නිසි උද්‍යෝගයෙන් කටයුතු කර නැති අතර, මේ සඳහා පත් කර ඇති කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාළ කරුණු සාක්ෂාත් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කමිටු නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීම පිණිස කටයුතු කරන ලෙසද, අමාත්‍යවරයා විසින් මෙහිදී වැඩිදුරටත් කමිටුවට උපදෙස් දෙන ලදි.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතිඥ, ලක්මාලි හේමචන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, නීතිඥ, උපුල් කුමාරප්පෙරුම මහත්ම මහත්මීන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් උසස් නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT