Home » හෙරොයින් සහ අයිස් සමඟ කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

හෙරොයින් සහ අයිස් සමඟ කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

by sachintha
April 17, 2025 1:39 am 0 comment

තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය අසලදී රුපියල් කෝටි 125කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 117ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනි දින දක්වා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා බූතාවත්ත මෙණෙවිය නියෝග කළාය.

පසුගිය 13 වැනිදා අලුයම 01ට පමණ තංගල්ල පොලීසියේ රථවාහන අංශයේ සැරයන් (60805) විදානආරච්චි සහ කොස්තාපල් (36152) වීරසිංහ යන නිලධාරින් දෙදෙනා කුඩාවැල්ල ධීවර වරායේ ගේට්ටුව අසලදී මසුන් ප්‍රවාහනය කරන අධිශීතකරණ සහිත ලොරියක් පරීක්ෂා කර ඇත. එහි තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවේ පැකට් 52ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවේ පැකට් 65ක් සමඟ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 125කට අධික බවත් රථවාහන අංශයේ නිලධාරින් මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

කඩුවෙල ප්‍රදේශයේ සිට මෙම මාළු ප්‍රවාහනය කරන ලොරි රථය සැකකරුවන් දෙදෙනා සමඟ දික්වැල්ල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි සිට ත්‍රිරෝද රථයකින් පැමිණි අයකු කුඩාවැල්ල ධීවර වරායට මඟපෙන්වා තිබේ.

මත්ද්‍රව්‍ය පටවා ගෙන පැමිණි ලොරිය පොලීසිය පරීක්ෂා කරන විට ත්‍රිරෝද රථයේ පැමිණි සැකකරු පලාගොස් තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගුන්නෑපාන, හෙට්ටියගම්මැද්ද පදිංචි අමිල ප්‍රසන්න කිත්සිරි (අවු:35) සහ පැපියලපල, පල්ලේගම පදිංචි චමිත් අසංක (අවු: 34) යන සැකකරුවන් දෙදෙනාය.

ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවද පොලීසිය පැවසීය. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවෙක් පලාගොස් ඇත. එම සැකකරු සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි. හරක් කටාගේ මත්කුඩු ජාලයට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම මාසය තුළ පමණක් අයිස් සහ හොරොයින් කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මෙම සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.

තංගල්ල සමූහ – පද්මසිරි ගාර්දියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT