Monday, April 21, 2025
Home » වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය පිළිබඳ නව පශ්චාත් මරණ පරීක්ෂණයට දින දෙයි

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය පිළිබඳ නව පශ්චාත් මරණ පරීක්ෂණයට දින දෙයි

by chanaka
April 17, 2025 5:26 pm 0 comment

වැලිකඩ පොලි​ස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අප්‍රේල් 23වැනිදා නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, කරාපිටිය රෝහලේ වෛද්‍ය පී. රෝහණ රුවන්පුර සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මුදිත විදානපතිරණ යන තිදෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු කරන බවයි.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය අප්‍රේල් 09වැනිදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

වැලිකඩ පොලිස් භාරයේ සිටි මෙම තරුණයා මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 02 දින අළුයම් කාලයේදී මිය ගොස් තිබුණි.

මෙසේ මිය ගොස් තිබුණේ වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයෙකි.

සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, අප්‍රේල් 01 දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට පුද්ගලයෙකු ඇතුළු වී සිටින බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබූ බවයි.

කෙසේවෙතත්, පොලීසියේදී සිදු කළ පහරදීම් හේතුවෙන් තරුණයා මිය ගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කලේය.

තරුණයා මිය යෑමේ සිදුවීම හේතුවෙන් මේ වන විට වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇති අතර මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT