Monday, April 21, 2025
Home » රිය අනතුරු නිසා දවසකට හතක් මියයනවා

රිය අනතුරු නිසා දවසකට හතක් මියයනවා

-ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි, වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ

by sachintha
April 17, 2025 2:00 am 0 comment

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අනිවාර්ය අංගයක් විය යුතුයි

අනතුරු බොහොමයකට හේතුව රියැදුරන්ගේ වැරැදි

ඩිජිටල්කරණයේ ප්‍රතිඵල අප අත්පත් කරගත යුතුයි

දිනපතාම මාර්ග අනතුරු හේතුවෙන් මෙරට ජීවිත රැසක් අහිමිවීම ඉතා බැරෑරුම් තත්ත්වයකි. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මේ පිළිබඳව වඩාත් අවධානය යොමුව තිබිණි. තවද මාර්ග ආරක්ෂාව පිළිබඳව දියුණු රටවල මේ සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව මෙරටත් ඒ වෙනුවෙන් කටයුතු කෙරෙන අන්දම සහ ඉදිරි සැලසුම් පිළිබඳ අපි දැන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි, වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය සමඟ කතා කරමු.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කාර්යභාරය කුමක්ද, ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

සියලුම වර්ගයේ රථවාහන පදවන රියැදුරන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය යෝග්‍යතාව පරීක්ෂා කිරීමටත් ඒ අනුව වෛද්‍ය සහතික නිකුත් කිරීමටත් 1997 අංක 25 දරන පාර්ලිමේන්තු පනතින් අපට බලතල දී තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතනයක් විදියට අපේ ප්‍රධාන කාර්යභාරයයි. ඊට අමතරව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සාමාජිකත්වයකුත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා දරනවා. එහිදී මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු වළක්වා ගැනීමේ දැනුම්වත් කිරීමේ කටයුතුවලටත් අප සම්බන්ධ වෙනවා.

රිය අනතුරු වළක්වා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවටත් පත් වෙලා නේද?

ඇත්තෙන්ම, රථවාහන පොලීසිය රිය අනතුරු ආදියට අදාළව එළිදක්වන දත්ත, වාර්තා අප ආයතනය සමඟ නිරතුරුවම බෙදා හදා ගැනෙනවා. එහිදී බිහිසුණු රිය අනතුරුවලදී මියයන සහ දරුණු තුවාල ලබන, සදාකාලික ආබාධ තත්ත්වයන්ට ගොදුරු වන තැනැත්තන් ගණන අති විශාල බව පැහැදිලියි. ඉකුත් (2024) වර්ෂයට පමණක් රිය අනතුරු නිසා වූ මරණ ගණන 2500කට ආසන්නවීමෙන් මෙහි බරපතළකම කියා පානවා. එමෙන්ම දෙගුණයක් දෙනා, පූර්ණකාලීන සහ දිගුකාලීන ආබාධ තත්ත්වයන්ටත් පත්ව ඇති බවත් ඉකුත් වර්ෂයට අදාළව පොලීසියේ රිය අනතුරු වාර්තා දෙස බැලූ විට පෙනෙනවා. දිනපතා රැකීරක්ෂා ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා නිවෙසින් පිටත්ව යන පුද්ගලයන්ගෙන් 7 දෙනකුවත් නැවත ඔවුනොවුන්ගේ ආදරණීයයන් කරා නොඑන්නට මහමගදී වන රිය අනතුරු හේතු වී තිබෙනවා. එය ඉතා සංවේදී තත්ත්වයක්.

මේ තනි පුද්ගල මරණ වුවත් ඔවුනොවුන්ගෙන් යැපෙන්නන් දහස් ගණනක් අගතියට පත්වීමක් මෙහි පසුබිමේ තිබෙනවා. වාර්ෂිකව රුපියල් බිලියන 135ක් පමණ රිය අනතුරු හේතුවෙන් රෝහල්ගත වන තැනැත්තන්ට ප්‍රතිකාර සඳහා රජය වැය කරනවා. ඒ ඇතුළු මාර්ග අනතුරු නිසා වන ජීවිත හානි, ප්‍රතිකාර වියදම්, උපයන්නන් අහිමිවීම නිසා ඒ ඒ පවුල්වලට වන පාඩුව ආදියත් ගණන් ගත් විට එය රුපියල් බිලියන 700ක් පමණ වෙනවා. එය රටක් වශයෙන් අපට විශාල වැය බරක්. මෙය අඩු කර ගත් විට, එම මුදල් සංවර්ධනය පිණිස යෙදවීමේ හැකියාව අපට තිබෙනවා. ඒ පිළිබඳ රටක් සමාජයක් වශයෙන් අප දැඩි අවධානය යොමු කළ යුතුයි.

මේ අනුව අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ රියැදුරන් නීරෝගි භාවයෙන් යුතු, නිවැරදිව රිය පදවන්නන් බවට පත් කිරීමනේ. සමීක්ෂණවලදී 90%ක් පමණ රිය අනතුරුවලට රියැදුරාගේ කාර්යභාරය බලපාන බවත් හෙළිවී තිබෙනවා. අනවධානය, අධික වේගය, නිදිවැරීම ආදී ශාරීරික අපහසුතා, මත්ද්‍රව්‍ය භාවිතය ආදි විවිධ සාධක ඊට අයත්. ඒවා වළක්වා ගැනීමට කටයුතු කළ යුතු අන්දම පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනවා. ත්‍රිරෝද රථ සහ පාපැදි බරපතළ රිය අනතුරුවලට බොහෝ විට ලක්වනු දක්නට ලැබෙනවා. ඉන් අගතියට පත්වන බොහොමයක් තැනැත්තන් අවුරුදු 16 – 64 අතර වන පිරිමි අයයි. ඒ ආදී ප්‍රධාන කරුණු මුල් කර ගනිමින් ඊට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ මේ කමිටුව පුළුල් වශයෙන් සලකා බැලෙනවා.

මොනවාද ඒ තත්ත්වය මඟහැරවීමට ගන්නා පියවර?

ඊට ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමෙන් කෙටිකාලීන, මැදි කාලීන හා දිගු කාලීන වශයෙන් ක්‍රියාමාර්ග ගැනෙනවා. ඒ අනුව මූලිකවම මාර්ග ආරක්ෂාව පිළිබඳ සහයෝගිතා කමිටුවක් පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය, ජාතික ගමනාගමන මණ්ඩලය ආදිය පමණක් නොව, මාර්ග සංවර්ධන අධිකාරිය ආදියත් ඊට අයත් වෙනවා. ඊටම පෞද්ගලික අංශයත් සහභාගි කර ගැනෙනවා.

දැනටමත් පෞද්ගලික අංශයේ ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ ආයතන 80ක් පමණ ඊට ඇතුළත්ව සිටිනවා. ත්‍රිරෝද රථ වෘත්තීය සංගම්, යතුරු පැදි, පාපැදි සංගම් ආදියත් මෙය නියෝජනය කරනවා. ආහාරපාන, භාණ්ඩ සැපයුම් ප්‍රවාහන සේවාවන්හි නිරත පෞද්ගලික ආයතන ආදියත් මෙයට ඇතුළත්. ඒ සියල්ලන් කිසිම ප්‍රතිලාභයකින් තොරව සමාජ සද්කාර්යයක් වශයෙන් සලකමින් මෙයට සහ සම්බන්ධවී සිටිනවා.

මෙහි රැස්වීම් වාර කිහිපයක් පවත්වා තිබෙනවා. එහිදී රිය අනතුරු අවම කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් වශයෙන් සාකච්ඡාවට ගැණුනා. ඒ අනුව රිය අනතුරක පසුබිම පිළිබඳ සලකා බැලුණා. මෙහි පැති ගණනාවක් වෙනවා. රියැදුරාගේ පැත්තෙන් විතරක් නෙවෙයි, රථ වාහන සම්බන්ධ තාක්ෂණික කාරණා ආදියත් මෙහිදී පුළුල් වශයෙන් අවධානයට ලක් කළ යුතු වෙනවා. ඒ හැරෙන්නට මහා මාර්ග ඇතුළු මාර්ග පද්ධතිය පිළිබඳවත් සලකා බැලිය යුතුමයි.

පොදු ප්‍රවාහනය පිළිබඳ ජනතාව දැඩි විමසිල්ලෙන් පසු වෙනවා?

එහි ගුණාත්මකතාව වැඩි දියුණු කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශය ඇප කැපවී සිටිනවා. අනතුරු වළක්වා ගැනීමට අමතරව මාර්ග තදබදය, පොදු ප්‍රවාහනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම ආදිය රටක ප්‍රතිරූපයට බෙහෙවින් බලපානවා. ඉදිරියේදී විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ආකර්ෂණය ප්‍රවාහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කෙ‍රෙනවා.

විශේෂයෙන්ම, කොළඹ ඇතුළු තදාසන්න නගරවල මාර්ග තදබදය පමණක් වුවත් ඵලදායීතාවට බෙහෙවින් බලපෑම් කරනවා. ඒ ඇතුළු කරුණු නිසා ඒකාබද්ධ පොදු ප්‍රවාහන කාලසටහන් සැකසීම, මාකුඹුර වැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තවත් පිහිටුවීම, ලංගම සතුව දැනට බස් රථ 7000ක් පමණ තිබුණත් එයින් සැලකිය යුතු ගණනක් දිනපතා ධාවනය කෙරෙන තත්ත්වයේ නැහැනේ. ඒ පිළිබඳවත් නිසි ලෙස කටයුතු කෙරෙනවා. එසේම ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙමින් පවතිනවා.

මේ ආදී කරුණු පිළිබඳ ප්‍රවාහන ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. දිගුකාලීනව විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන බස් රථ ගෙන්වීම ඇතුළු විසඳුම් ප්‍රවාහන අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලසුමට අනුව මේ සඳහා යෝජනා කර තිබෙනවා. දුම්රිය සේවය හරහා සංචාරක කර්මාන්තයට වැඩි දායකත්වයක් ගැනීමටත් ඒ අනුව සැලසුම් කෙරෙනවා.

අපි එතැනින් නැවත ඔබගේ ආයතනය දෙසට හැරෙමු?

දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති හරහාත් මුල් තැනක් දෙන කරුණු අතර වෙනවා. මේ අනුව අප ආයතනයට විශාල වගකීමක් පැවරෙනවා. ඩිජිටල්කරණය නොවීම දූෂණ වැඩි වීමට හේතුවක් වශයෙන් රජය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඩිජිටල්කරණය හරහා සේවාලාභින්ට මිනිත්තු 30ක පමණ කාලයකදී සේවාව දීමට කටයුතු කෙරෙනවා. යම් විදියකින් නුසුදුස්සකුට රියැදුරු බලපත්‍රයකදී අනිවාර්ය වන වෛද්‍ය වාර්තාවක් අයථා ක්‍රමයකින් දීම කියන්නේම අයෝග්‍ය රියැදුරකු මහ මඟට පිවිසීමක්. එය වළක්වාගත යුතුමයි. ඒ හරහා ඩිජිටල්කරණය මඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපත් එකට සම්බන්ධ වී සිටිනවා. මේ අනුව කාර්යක්ෂමතාව, එකිනෙකාට ගරු කිරීම, විනයගරුකභාවය, ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය ආදිය ඉහළ නැංවීම අපේක්ෂාවයි. එවිට අනුන්ගේ ජීවිතවලට ගරු කරන රියැදුරු පිරිසක් ඇති කර ගත හැකියි.

මේ වන විට වෛද්‍ය සහතිකය මුද්‍රිත පිටපතක් වශයෙන් නුගේගොඩ පිහිටි අපගේ කාර්යාලයේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර මධ්‍යස්ථානය දක්වා රැගෙන යා යුතු නැහැ. එය ඩිජිටල්කරණය හරහා කෙරෙනවා. එයින් මුද්‍රණ වියදම් ආදියට පමණක්, රුපියල් මිලියන 50ක් පමණ වාර්ෂිකව රජයට ඉතිරි වෙනවා. ඒ හැර එම යන්ත්‍ර, උපාංග රැසක් වෙනුවෙන් දැරූ වියදම් තවදුරටත් අඩුවී තිබෙනවා. එසේම, ඉන් පහසුව, කාර්යක්ෂමතාව වැඩි වෙනවා. මෙතෙක් ඒ කෙරෙහි යොමු කරවූ කාර්ය මණ්ඩලයත් වෙනත් ප්‍රයෝජනවත් රාජකාරිවල යෙදවීමටත් මෙයින් හැකියාව ලැබුණා.

එමෙන්ම, මේ මාසය තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අපගේ දිස්ත්‍රික් ශාඛා 25ම ඩිජිටල්කරණය ඔස්සේ එකට සම්බන්ධ කිරීමට නියමිතයි.

වෙනදා දස දෙනා ආදී කුඩා කණ්ඩායම් වශයෙනුයි වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරුණේ. මේ වන විට එය නවතා දමා තිබෙනවා. ඒ වෙනුවට පෞද්ගලිකත්වය, ගරුත්වය රැකෙන පරිදි, තනි තනිව වෛද්‍යවරුන් හමුවීමට මේ වන විට අප ආයතනය මඟින් ඉඩ සලසා තිබෙනවා. සේවාලාභියා මුල් කරගත් සේවාවන් ප්‍රවර්ධනයට කටයුතු කෙරෙනවා. වෛද්‍ය නිර්ණායක යාවත්කාලීන කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, දිනපතාම පාහේ දරුණු රිය අනතුරු වීමත්, ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම අදියත් හරහා සමාජයේ මේ බැරෑරුම් තත්ත්වය සාමාන්‍යකරණය වීමක් පෙන්නුම් කරනවා. එහෙත් එය එසේ නොවිය යුතුයි. මේ අනතුරු හරහා බොහෝ විට මරණයට, පූර්ණ සහ දිගුකාලීන ආබාධිත තත්ත්වයන්ට ලක්වන්නේ ශ්‍රම බළකායේ සාමාජිකයන්. මෙය අප සියල්ලන්ම වගකීමක් වශයෙන් සැලකිය යුත්තේ ඒ නිසයි. එහි බරපතළකම සමාජයට අවධාරණය කිරීමේදී විවිධ ජනමාධ්‍ය ආයතනික ප්‍රධානින් ඇතුළු එම ක්ෂේත්‍රයේ දායකත්වයත් ගැනෙනවා.

මේ හරහා රිය අනතුරු වළක්වා ගැනීමේ ජාතික වගකීම පිළිබඳ සිනමාව ආදී ආකර්ෂණීය මාධ්‍ය මඟින්, ජනතාව දැනුම්වත් කිරීමටත් එහිදී ජනප්‍රිය නළු, නිළියන්ගේ දායකත්වය ලබා ගැනීමටත් අපේක්ෂා කරනවා. දැනුම්වත්භාවය, ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය මෙහිදී අදහස් කරනවා. ආරක්ෂිතව රිය පැදවීමේ වැදගත්කම පිළිබඳ රියැදුරන් දැනුම්වත් කිරීමේ කෙටිකාලීන දැනුම්වත් කිරීමේ වැඩසටහන් වීඩියෝ දර්ශන ආදිය ඇතුළත්ව සංවිධානය කෙරෙනවා. ඒවා රටපුරා පැවැත්වීමට නියමිතයි.

ආබාධ සහිත තැනැත්තන් ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවාද?

ඔව්. ඒත් මෙතැනදී පොදු ප්‍රවාහනයට අදාළ නොවන, පෞද්ගලික, සැහැල්ලු වාහන පැදවීමට අවශ්‍ය රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේදී වැදගත්වන කරුණු පිළිබඳ සොයා බලමින් පවතිනවා. එසේම, දෘෂ්ටි හා ශ්‍රවණ ඌන තැනැත්තන් සම්බන්ධව වසර කිහිපයකට පෙර කැබිනට් පත්‍රිකාවකින් රියැදුරු බලපත්‍රයක් දීමට ඉදිරිපත් කළ කරුණු සඳහා වෛද්‍යවරුන්ගේ විරෝධතා එල්ලවීමෙන් ඒ පිළිබඳ අවසන් තීරණ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා. මෙහිදී තාක්ෂණික කරුණු සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ පරිදි ඊට සුදුසු පියවර ගැනීම ආදියත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT