විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අම්බලන්ගොඩ කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමැත්තෙකි.
සැකකරු අද (15) ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත යාමට උත්සාහ දරා ඇති අතර සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නැමැති ව්‍යාජ නමක් භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන ඇති අතර රටින් පිටවීම සඳහා ඔහු මෙම නම භාවිත කර තිබේ.
සැකකරු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවද පොලීසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලීසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙක් බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.
බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා පසුගිය මාර්තු මස 13වැනිදා අක්මීමන, තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.