ශ්‍රී දළදා වන්දනා සමයේ මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර, ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් නිලධාරීන් 10,000ක් සේවයේ යෙදවීමට තීරණය කර ඇත.
දළදා මාලිගා පරිශ්‍රයට පෝලිම් තුනක් ඔස්සේ ඇතුළු වන ජනතාව ස්ථාන දෙකකදී පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙන අතර, ආරක්ෂක කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සහයක් ලෙස අමතර බඩු බාහිරාදිය රැගෙන ඒමෙන් හැකි තරම් වළකින ලෙස මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.
අදාළ ආරක්ෂක කටයුතු සැලසුම් කිරීම සහ දළදා වන්දනාවට අදාළ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.
මහජන සහභාගිත්වය අනුව මල්වතු, අස්ගිරි උභය මහා විහාරීය මහානාහිමිවරුන්ගේද අනුශාසනා පරිදි දළදා වන්දනාව පැවැත්වෙන දින ගණන දීර්ඝ කිරීමේ හැකියාවක් පවතින නමුත් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ දළදා දැක්ම ආරම්භ වීමෙන් පසුව බවත් ඒ මහතා පැවසීය.
දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව ශ්‍රී දළදා මැඳුරේදී ඉටු කළ යුතු චාරිත්‍ර හා පුද පූජා ගණනාවක් තිබෙන බවත්, මේ නිසා සෑම දිනකම දවහල් 12.30ත් පස්වරු 5.30ත් අතර කාලයේ පමණක් දළදා වන්දනාව සඳහා බැතිමතුන්ට අවස්ථාව සලසන බවත් කී ඒ මහතා ඊට අමතරව කාලය දීර්ඝ කිරීමක් කිසිසේත් සිදු නොවන බවද අවධාරණය කළේය
මේ අතර දළදා වන්දනාව සමයේ මහනුවර නගරයේ සියලු පදික වෙළෙඳුන් ඉවත් කිරීමට මහනුවර මහ නගර සභාව තීරණය කර තිබේ.
මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
සිරි දළදා දැක්ම සඳහා විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි පොලීසිය අපේක්ෂා කරන බැවින් බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමු කිරීම සඳහා සහ බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කර ගැනීමට හැකිවන පරිදී ඉඩ ප්‍රස්තාව සැලසීම මෙන්ම පැමිණෙන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුනාවා දීමට පොලීසිය කටයුතු කර ඇත.
ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කර ලෙස දැනටමත් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත් පොලීසිය පවසයි.