Home » ලංකාවේ විශාලතම අලුත් අවුරුදු කිරිබත වැලිකඩින්

ලංකාවේ විශාලතම අලුත් අවුරුදු කිරිබත වැලිකඩින්

by chanaka
April 12, 2025 1:48 pm 0 comment

බුද්ධිකා ඉඹුලාන

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී අනිද්දා (14) සිදු කෙරේ.

මෙම 14 වැනිදා අලුයම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 40කට අධික පිරිසකගේ දායකත්වයෙන් සකස් කෙරෙන මෙම කිරිබතට සහල් කිලෝ 400ක් පමණ යොදා ගැනේ. ගානලද පොල් කිලෝ 200ක් මේ සදහා යොදා ගන්නා අතර එම පොල් ගෙඩි වැඩි ප්‍රතිශතයක් බන්ධනාගාරවල වගාබිම්වලින් නෙලා ගත් ඒවා වෙයි. කිරිබත සඳහා රසවත් ලුණු මිරිසක්ද රැඳවුවන් අතින් සකස් කිරීමට නියමිතය.

අද(12) දිනය වන විට වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් සංඛ්‍යාව 3300කට ආසන්න වේ. මේ එක් රැඳවුවකුට හිමිවන කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින රැඳවුවන් සංඛ්‍යාව 366ක් වන අතර ඔවුන්ට සුදුසු පරිදි වෙනම අවුරුදු කිරිබතක් සකස් කෙරෙනු ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සකස් වන මෙම කිරිබත මෙන්ම මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් සකස් කිරීම මෙම 14 වැනිදා සිදු වෙයි. ඒ් අනුව රට පුරා රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයකට අවුරුදු කිරිබතක් පිළියෙළ වන අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක මහතා අප වෙත පැවැසුවේ රැඳවුවන් 30,000ක් පමණ විශාල පිරිසක් එකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේෂත්වයක් බවයි.

‘අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවුවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාරතුළ ඉටු කිරීමද ඒ් ඒ් බන්ධනාගාරයන් තුළදී සිදු කෙරෙනවා.සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාරවල අවුරුදු උත්සව පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ,බන්ධනාගාර සුබසාධක අංශය සහ පුනරුත්ථාපන අංශය මේ කටයුතු සංවිධාන කර තිබෙනවා.’යැයිද දිසානායක මහතා අවධාරණය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT