ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙන යාම සහ පුරවැසි පහසුව වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ලෙස, රජයේ සේවාවන් සඳහා රටේ කැපවූ ඩිජිටල් ගෙවීම් දොරටුව වන GovPay, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ හවුල්කාරිත්වයෙන් රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද(11) ආරම්භ කර ඇත.
ඒ අනුව අද (11) සිට ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සදහන් කරයි.
මෙම නියමු ව්‍යාපෘතිය තුළින් සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස්කර ගැනීමෙන් අනතුරුව දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ හරහා Online ක්‍රමයට දඩ මුදල් ගෙවූ පසු ඒ පිළිබඳ ලැබෙන SMS පණිවිඩයකින් අදාළ පොලිස් නිලධාරීයා තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදාහරින බැවින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවාව ලබාදීමට හැකි බව සදහන් වේ.
පුරවැසි කේන්ද්‍රීය නවෝත්පාදනයන් සඳහා දැඩි කැපවීමක් පිළිබිඹු කරමින්, මහජන සේවා සැපයීම වේගවත්, සරල සහ වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මාර්ගගත රථවාහන දඩ ගෙවීමේ පහසුකමක් හඳුන්වාදීමත් සමඟ GovPay සිය සේවා පුළුල් කර ඇත.
2025 පෙබරවාරි 7 වැනිදා දියත් කරන ලද GovPay, රාජ්‍ය සේවා සැපයීම හරහා ඩිජිටල් පරිවර්තනයක් ගෙන ඒම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දැක්ම යටතේ ප්‍රධාන මුලපිරීමක් ලෙස හඳුන්වා දෙන ලදී. රාජ්‍ය ආයතන 18 ක් සඳහා ගෙවීම් පහසු කිරීම සඳහා මුලින් දියත් කරන ලද මෙම වේදිකාව එහි ප්‍රවේශය වේගයෙන් පුළුල් කර ඇති අතර දැන් රජයේ ආයතන 28 ක් සඳහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ගනුදෙනු සක්‍රීය කරයි.
GovPay හි නවතම සේවා වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වීමෙන් පසු මෝටර් රථ හිමියන්ට මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවීමට ඉඩ සලසයි.
GovPay සහ ඒ ආශ්රිත සේවාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු සඳහා, www.govpay.lk වෙත පිවිසිය හැකිය.