කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.
එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන ඇත.
මින් පෙර අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු නියෝගය මගින් එකී නාම යෝජනා ප්‍රතික්ෂේපිත පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු කිරීම වළක්වා තිබුණි.
නමුත් අද දිනයේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ මෝසමක් අනුව එම නඩු අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර, එහි දී ඡන්දය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අවධාරණය කරනු ලැබීය.
ඒ අනුව, එම නඩුවට වගඋත්තරකරුවන් විරෝධතා ප්‍රකාශ ගොනු නොකරන බවට අධිකරණයට දැන්වීම මත, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් එම ප්‍රතික්ෂේපිත නාමයෝජනා පත්‍ර පිළිගන්නා ලෙසට අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කර එම රිට් පෙත්සම්වල නඩු කටයුතු අවසන් කරන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.
එකී කරුණු මත අභියාචනාධිකරණය විසින් ඉහත නියෝගය නිකුත් කරනු ලැබූ අතර, ඒ අනුව, සියලු පලාත්පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම පෙර නියම කර තිබූ පරිදි මැයි 6 දින පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසම වෙත උදා වී ඇත.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.