පරිපාලනය සම්බන්ධ සියලු නීතිමය කටයුතු නිමාවනතුරු ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය පැවැත්වීමේ හැකියාවක් නැතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. නිලවරණ කමිටුවට රග්බි නිලවරණය පැවැත්විය නොහැකි බවත්, එය පැවැත්වීම සම්බන්ධව තීරණය ගත යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ ආසියානු රග්බි එමිරේට්ස් ශූරතාවලිය සඳහා එක්වීමේ අවස්ථාව උදාවන ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවැත්වෙන තීරණාත්මක තරගය සම්බන්ධව ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. වසර 2027 ලෝක කුසලාන තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි රට තෝරාගැනීමේ තරගාවලියක් ලෙස ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ආසියානු රග්බි එමිරේට්ස් ශූරතාවලියට මේ වන විට හොංකොං, දකුණු කොරියාව සහ එමිරේට්ස් කණ්ඩායම් ඇතුළත් වන අතර, සෙසු කණ්ඩායම තෝරා ගැනීම ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ලබන 19 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී එම තරගය පැවැත්වීමට නියමිතය.
“නීතිමය තත්ත්වයක් තියෙද්දී නිලවරණයක් පවත්වන්න බෑ. ක්‍රීඩා ඇමැතිවරයා හා අමාත්‍යාංශය කටයුතු කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙනයි. නඩු තවම ඉවර නෑ. ඒ නිසා නිලවරණය පවත්වන්න බාධාවක් තියෙනවා. ඊළඟ නඩුව අප්‍රේල් 28 වැනිදා අභියාචනාධිකරණයේදී පැවත්වෙනවා. එදාට ගන්න තීරණ මත තමයි ඒක සිද්ධවෙන්නේ. අපේ කිසිම බාධාවක් නෑ. නව ව්‍යවස්ථාවක් හදලා තියෙන්නේ. ඒ සඳහා නීතිමය ආශීර්වාදය තියෙනවා. අමාත්‍යතුමාගේ ආශීර්වාදය තියෙනවා. ලෝක රග්බි සම්මේලනයේ හා ආසියානු රග්බි සංගමයේ ආශීර්වාදය තියෙනවා. අවාසනාවකට අපිට නැත්තේ පළාත් සංගම්වල ආශීර්වාදය විතරයි.” ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
“නිලවරණ කමිටුවට නිලවරණය පවත්වන්න බෑ. නිලවරණය පවත්වන එක සම්බන්ධව තීරණය ගන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශයයි. ඊට හේතුව දැනට රග්බි ක්‍රීඩාව පාලනය වෙන්නේ නිසි බලධාරියා යටතේ. නිසි බලධාරියා නම් දවසක්වත් ප්‍රමාද කරන්නේ නෑ. ඒ සහතිකය මට දෙන්න පුළුවන්. නීතිමය උපදෙස් අපිට ලැබෙනතුරු ක්‍රීඩා අමාත්‍යතුමාට නිලවරණය ගැන තීරණයක් ගන්න හැකියාවක් නෑ. නමුත් එසේ ලැබෙන පළමු අවස්ථාවේදීම අපි නිලවරණය පවත්වනවා” මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවත්වීමට නියමිත ආසියානු රග්බි එමිරේට්ස් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා දෙන තීරණාත්මක තරගය සඳහා ගෝර්ඩන් පෞද්ගලික සමාගම නිල ඇඳුම් සැපයුම් අනුග්‍රාහක ලෙස කටයුතු කරන අතර, තරගය සඳහා ක්‍රීඩා ජර්සිය පිරිනැමීම ද මේ අවස්ථාවේදී සිදු විය.