Home » එංගලන්තයේ එක්ස් ප්‍රෝ ක්‍රිකට් ඇකඩමි 13න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

එංගලන්තයේ එක්ස් ප්‍රෝ ක්‍රිකට් ඇකඩමි 13න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

ඕවර 40 තරග 3කට, ඕවර 25 තරගයකට සහ විස්සයි20 තරග 2කට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ අවුරුදු 13න් පහළ එක්ස් ප්‍රෝ ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටිති.

ලැන්කෂයර් ප්‍රාන්තයේ අවුරුදු 13න් පහළ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් සමන්විත එම කණ්ඩායමේ නායකයා ලෙස ඩේව් මැකින්සන් ද, පුහුණුකරුවන් ලෙස ඩේව් ලටින් සහ ජෝන් ස්ටීවන්ස් ද කටයුතු කරති. මෙරට අන්තර් සමාජ ක්‍රිකට් ක්ෂේත්‍රයේ හිටපු විශිෂ්ට වමත් පාදඟ පන්දු යවන්නකු වන අමල් දළුගොඩ මහතාගේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවුරුදු 13න් පහළ එක්ස් ප්‍රෝ ඇකඩමි ක්‍රිකට් පිලේ පළමු ඕවර 40 තරගය ඊයේ එන්සීසී ක්‍රිකට් ඇකඩමි පිල සමඟ එන්සීසී පිටියේ පැවති අතර, සෙසු තරග කොළඹ හා මාතර කේන්ද්‍ර කරමින් පැවැත්වීමට නියමිතය.

සිය ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩාවට අමතරව අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන් අත්දැකීම් රැසක් මේ සංචාරයෙන් ලැබෙනු ඇතැයි ද, තරගකාරීත්වයෙන් සපිරි ශ්‍රී ලාංකික කණ්ඩායම් රැසක් සමඟ ක්‍රීඩා කිරීමෙන් අත්දැකීම් රැසක් ලැබෙනු ඇතැයි ද සංචාරය පිළිබඳ අදහස් දැක්වූ එක්ස් ප්‍රෝ ක්‍රිකට් ඇකඩමි පිලේ පුහුණුකරු ඩේව් ලටින් ප්‍රකාශ කළේය.

මේ තරගාවලිය තුළින් ලැන්කෂයර් ප්‍රාන්තයේ ක්‍රීඩකයන්ට මෙරටදී දඟපන්දු යැවීම සම්බන්ධව අත්දැකීම් රැසක් ලබා ගැනීමේ අවස්ථාව ලැබී ඇතැයි තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අමල් දළුගොඩ කියා සිටියේය. එම කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකාවේ අවුරුදු 13න් පහළ ක්‍රීඩකයන්ටත් වටිනා අත්දැකීමක් ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

එක්ස් ප්‍රෝ ක්‍රිකට් ඇකඩමි පිල අද කෝල්ට්ස් පිටියේදී ඇපෙක්ස් අවුරුදු 13න් පහළ ක්‍රිකට් ඇකඩමි පිල සමඟ ඕවර 40කට සහභාගි වන අතර, අනිද්දා (12) මාතර සාන්ත තෝමස් විදුහලේ 13න් පහළ කණ්ඩායම සමඟ උයන්වන්ත ක්‍රීඩාංගණයේදී ඕවර 25 තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය. අනතුරුව 15 වැනිදා මුවර්ස් ක්‍රීඩා පිටියේදී එම්සීඒ ඇකඩමි පිල සමඟ විස්සයි20 තරග දෙකකට සහභාගි වන එක්ස් ප්‍රෝ ඇකඩමි පිල ලබන 16 වැනිදා සීසීසී පිටියේදී සීසීසී අවුරුදු 13න් පහළ ඇකඩමි පිල සමඟ ඕවර 40 තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.

එක්ස් ප්‍රෝ ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම: ඩේවි මැකින්සන් (නායක), කියැං වෝල්ෂ්, මිලාන් කුමාර්, රිත්වික් ප්‍රකාශ්, මැතිව් ෆර්න්, රියොන් දළුගොඩ, මොහොමඩ් සයිෆ් ජවේඩ්, ඩයිලන් රිලේ, ෂාන් මැක්ගොවන්, ඩැනියෙල් රෆික්, ක්‍රිස් ෆර්න්, හැරී මර්සර්, මැක්ස් රේන්.

ඡායාරූපය – කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT