Home » ලක්වින් සහ තරිඳුගෙන් වාර්තාගත ද්විත්ව ශතක
කඳුරට සුලෝහිත සංග්‍රාමයේදී 

ලක්වින් සහ තරිඳුගෙන් වාර්තාගත ද්විත්ව ශතක

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ලක්වින් සහ තරිඳු

මහනුවර කිංග්ස්වුඩ් විදුහල සමඟ පැවති 118 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී ධර්මරාජ විදුහලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව නිමා විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති 118 වැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ පිල කඩුලු 2ක් දැවී ලකුණු 454ක් රැස් කළ අතර, එහිදී නව පාසල් ක්‍රිකට් වාර්තාවක් සමඟ ද්විත්ව ශතක වාර්තා කිරීමට ලක්වින් අබේසිංහ සහ තරිඳු වර්ණකුලගේ සමත් වූහ. ඔවුන් දෙදෙනාම නොදැවී ලකුණු 203 බැගින් රැස් කළ අතර, එය පාසල් ක්‍රිකට් තරග බිමේ එකම ඉනිමකදී ද්විත්ව ශතක දෙකක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස සටහන් විය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 406ක සබඳතාවක් ගොඩනැඟූ අතර එය පාසල් ක්‍රිකට් තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැඟූ හොඳම සබඳතාව ද විය. තරිඳු පන්දු 286කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර, ලක්වින් පන්දු 292කදී හතරේ පහර 20ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් පළමු ඉනිම ලකුණු 197කට සීමා වූ අතර, පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දුන් කිංග්ස්වුඩ් පිල තරගය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 96ක් රැස් කර ගෙන සිටියේය.

මේ තරගයේ වීරයා ලෙස ලක්වින් අබේසිංහ (ධර්මරාජ) සම්මාන දිනාගත් අතර, තරිඳු වර්ණකුලගේ (ධර්මරාජ) දක්ෂතම පිතිකරු ලෙසත්, නිසල අබේරත්න (ධර්මරාජ) සහ නිකේෂල නානායක්කාර (කිංග්ස්වුඩ්) දක්ෂතම පන්දු යවන්නන් ලෙසත්, කවිඳු ගුණරත්න (ධර්මරාජ) දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්හ.

ධර්මරාජ පළමු ඉනිම 454/2 (ඕවර 104.3) තරිඳු වර්ණකුලගේ නොදැවී 203, ලක්වින් අබේසිංහ නොදැවී 203

කිංග්ස්වුඩ් පළමු ඉනිම – 197 (ඕවර 107.3) නිකේශල නානායක්කාර 63 (නිසල අබේරත්න 44/5, දක්ෂික මනුකල්ප 31/2) සහ දෙවැනි ඉනිම 96/2 (ඕවර 31) චනුල් කොඩිතුවක්කු නොදැවී 52, ආදිල් ශෙරීෆ් 40 (දක්ෂික මනුකල්ප 21/2).

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT