Home » ගම්මුන්ගේ විරෝධයෙන් පුස්සැල්ලාව වහුගපිටිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ඉවතට

ගම්මුන්ගේ විරෝධයෙන් පුස්සැල්ලාව වහුගපිටිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ඉවතට

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ගම්පොළ - සුරංග දිල්හාන්
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීර­සූ­රිය, නව ස්ථාන භාර වෛද්‍ය නිල­ධාරි මොහො­මඩ් ෆාහිම්, ජනතා නියෝ­ජි­ත­යන් සමඟ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු වෛද්‍ය කණ්ඩා­යම සාකච්ඡා පැවැත් වූ අයුරු

ගම්පොළ පුස්සැල්ලාව වහුගපිටිය ප්‍රාදේශීය රෝහලේ බිඳවැටී ඇති පරිපාලනය යථාවත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ නිහාල් වීරසූරිය මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මඟින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ගම්වාසීන් හා වතු ප්‍රජා නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවකින් පසු එම රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ඉවත්කොට නව පරිපාලනයක් ඇති කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව එහි වැඩබලන නව ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස ගම්පොළ උඩ පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ෆාහිම් වෛද්‍යවරයා පත් කරනු ලැබීය.

වසර දාහතරක් මෙහි සේවය කළ හිටපු ස්ථාන භාර වෛද්‍යවරයා අධික ලෙස බීමත්කමට ඇබ්බැහි වීම සමඟ මෙහි පරිපාලනය බිඳවැටී ජනතාව අසීරුතාවයට පත්ව ඇතැයි පවසා මෙම වෛද්‍යවරයා ඉවත් කරන ලෙස 2019 වසරේ සිට ජනතාව කිහිප අවස්ථාවක උද්ඝෝෂණ, විරෝධතා හා ලිපි යැවීම් සිදු කර තිබුණි.

පවතින වෛද්‍ය හිඟය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ස්ථාන භාර වෛද්‍යවරයාට විවිධ අයුරින් අවවාද කිරීම් සිදු කළ ද එම ඇබ්බැහිය නතර කිරීමට නොහැකිව තිබියදී ප්‍රදේශවාසීන් විසින් යළිත් පසුගිය 5 වැනිදා ගම්පොළ, නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් රෝහල ඉදිරිපිටදී විශාල උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම රෝහල පුස්සැල්ලාව, පාරදෙක, වහුගපිටිය ආදී නගර වැසියන් හා රම්බොඩ, පෙරෙට්ටාසි, කටුකිතුළ, හෙල්බොඩ, ඩෙල්ටා, නවකඩදොර, මාවෙල ,මාස්වෙල, නයාපාන, දොරගල, අටබාගේ ආදී ගම්මාන සමඟ වතු හතළිහක ජනතාව සේවය ලබා ගන්නා ස්ථානයකි.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ නිහාල් වීරසූරිය මහතා මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහනුවර සභාපති නිමල් ජයවර්ධන, එහි ලේකම් ධම්මික දිසානායක, පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහි පැමිණ කරුණු සොයා බලා ප්‍රදේශවාසී නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡා කොට මෙම තීරණයට එළැඹිණ.

මෙහිදී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, කිසිම රජයේ සේවකයකුට බීමත්ව රාජකාරි කිරීමට නොහැකි බවත්, එය ආයතන කඩාවැටීමට හේතුවන බවත්ය.

මෙම වෛද්‍යවරයාට මීට පෙර අවවාද කළත් බීමත්කමට ඔහු ඇබ්බැහි වීම මත ඉන් මිදීමට නොහැකි වී තිබීම බරපතළ තත්ත්වයක් බවත් එයට ප්‍රදේශයේ ජනතාව වගකිව යුතු නැති නිසා ඔහු ඉවත් කළ යුතු බවයි.

ජනතාව හා රෝහල අතර දුරස්ථභාවයක් ඇතිව තිබෙන බවට නිරීක්ෂණය වීම සිදු වුවත් ප්‍රදේශයේ වතු ජනතාව පවසන ආකාරයට ඔවුන් වෙනස්කමකට භාජනය වනවා යැයි සිතීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ වසර විසි හයක් ම සේවය කළේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් බවත් අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.

වෛද්‍යවරයකු ළඟ ජාති, ආගම්, කුල භේද ආදී බෙදීම් නොමැතිකම පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා වෛද්‍යවරයකු ළඟට පැමිණෙන සියලු දෙනා රෝගීන් පමණක් බවත් පැවසීය.

එසේම රෝහලේ පවතිනවා යැයි පවසන ඖෂධ හිඟය පිළිබඳව ද සොයා බලා කටයුතු කරන බවද මෙහිදී පැවසීමෙන් පසු සාකච්ඡාවට එක් වූ ප්‍රදේශවාසීන්, වතු නියෝජිතයන්, ව්‍යාපාරිකයන් හා සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ මෙම මස 28 වැනිදා රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පවත්වා නව පාලනයට එක් වූ ස්ථාන භාර වෛද්‍යවරයා සමඟ රෝහල දියුණු කිරීමට කැපවෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT