දේශීය ලොකු ලූනු වගාවට නැවත පණ දී මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර හෙක්ටයාර් 2000ක් වගා කිරීම සඳහා ගොවීන් දැනුම්වත් කිරීමේ දෙදින වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය, මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව පෙරේදා (08) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවෝ කණ්ඩායම් 20කට බෙදී අතමිට සරු වන ලොකු ලූනු වගාව මෙන්ම කලට කන්නට ලොකු ලූනු වගා ආරම්භ කරමු, යන තේමාව යටතේට අස්වැන්න දෙගුණ කරමින් වියදම අඩු කරමින් වගා කරන නව ක්‍රමය පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ ලූනු වගා කරන ගොවීන්ගේ ගෙන් ගෙට ගොස් ලොකු ලූනු වගාව අතහැර දැමූ ගොවීන් ද දැනුම්වත් කොට නැවත වගාවට ඔවුන් යොමු කරවීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇති බව මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මහතා පැවසීය.
මෙම ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන දඹුල්ලෙන් ආරම්භ කොට සීගිරිය, ගලේවෙල, නාවුල ආදී ප්‍රදේශවල ගොවි පවුල් දෙදහස් පන්සීයක් පමණ දැනුම්වත් කිරීම අරමුණ බව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පසුගිය වසරවල ලොකු ලූනු වගාව සාර්ථකව කරගෙන ආවද තම වගාවන්වලට නිෂ්පාදන වියදම අධික වීම, ස්ථිර මිලක් නොමැති වීම කෘමිනාශක පොහොර සහ අනෙකුත් යෙදවුම් විශාල වශයෙන් මිල ඉහළ යෑම නිසා ගොවීන් සම්පූර්ණයෙන්ම ලොකු ලූනු වගාවෙන් ඉවත් වූ නිසා මෙවර අස්වැන්න තුන් ගුණයකින් වැඩි කරන නිෂ්පාදන වියදම අවම කරන නව පැකේජයක් ගොවීන්ට හඳුන්වා දෙන බවද ඒ මහතා පැවසීය.
ලොකු ලූනු වගා කළ දඹුල්ලේ ගොවීන් පසුගිය කන්නයේ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ඉහළ මිලක් ලබාගත් බවද ඒ අනුව මෙවරද අස්වැන්නට හොඳ මිලක් රජය ලබාදෙනු ඇති බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.
කෙසේ වෙතත් මෙම වැඩසටහනේ දී මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.පී.කේ. දොඩංවල මහතා පවසා සිටියේ, පෙරදා ලොකු ලූනු ඉතා සාර්ථකව වගා කරගෙන පැමිණි බවයි. විවිධ දේශපාලන තීන්දු තීරණ, අලෙවි ප්‍රශ්න සහ අධික වියදම් මිල, දේශගුණික ප්‍රශ්න රැසක් ලොකු ලූනු වගාව තුළින් ගොවීන් ඉවත් වීමට බලපෑම් එල්ල කළ බවයි.
ලොකු ලූනු භෝග පිළිබඳ නායක ඩී.ආර්. කාංචන මහතා පවසා සිටියේ ලොකු ලූනු වගාව නැවත ප්‍රවර්ධනය කිරීම සඳහාත් බීජ නිෂ්පාදනය කිරීම සඳහාත් රජයේ අවධානය යොමුකර තිබෙන බවයි.
හෙක්ටයාරයකට ලබාගත් ලොකු ලූනු අස්වැන්න දෙගුණයකින් වැඩි කරන පරීක්ෂණ සිදුකොට ගොවීන් ඒ සඳහා දැනුම්වත් කරන බව ද ඔහු පැවසීය.
මේ වන විට දේශීය බීජ කිලෝ 19,000ක් පමණ තිබෙන බව මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයන්ත සමරවික්‍රම මහතා පවසා සිටියේය. මේ වන විට ඒක පුද්ගල ලොකු ලූනු පරිභෝජනය වසරකට කිලෝ එකොළහක් බව ද ඒ අනුව මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් මෙරට වාර්ෂිකව ලොකු ලූනු පරිභෝජනය කරන බවද එයින් මෙට්‍රික් ටොන් අසූදාහක් පමණ දේශීය නිෂ්පාදනය කොට ඉතිරි සියල්ල විදේශ රටවලින් ගෙන්වීමට සිදුවන බවද සඳහන් කළේය. ඒ අනුව මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර් 2000ක් පමණ ලොකු ලූනු වගා කිරීම තම අරමුණ බව සඳහන් කළේය. ලොකු ලූනු කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 109ක පිරිවැයක් දැරීමට සිදු වන බවද ඒ අනුව අස්වැන්න දෙගුණයක් කිරීමේදී එය අඩුකර ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මධ්‍යම පළාත් කෘෂි සේවක සේවිකාවෝ නිවෙස්වලටම ගොස් ලොකු ලූනු ගොවීන් වගාවන්වලට හුරු කිරීමට යොදා ගැනීම, වැඩිදියුණු කරන ලද ලූනු වගාවට යොමු කර ගැනීම සඳහා ප්‍රවර්ධන කටයුතු සිදු කරන අයුරු දැක ගැනීම හැකි විය.
මේ වන විට දේශීය වෙළෙඳපොළේ විදේශීය ලොකු ලූනු පමණක් අලෙවි කිරීමට තිබෙන අතර, ලොකු ලූනු කිලෝ එකක තොග මිල රුපියල් 140 – 160ත් අතර මිලක පවතී.