Home » තෙල්දෙණිය-කරල්ලියද්ද උඩිස්පත්තුව රේටියගම පාරේ අලි වළවල්

තෙල්දෙණිය-කරල්ලියද්ද උඩිස්පත්තුව රේටියගම පාරේ අලි වළවල්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

කරල්ලියද්ද සමූහ - විජේසිරි නිශ්ශංක

තෙල්දෙණිය, කරල්ලියද්ද නගරයේ සිට උඩිස්පත්තුව නගරය හරහා රේටියගම දක්වා දිවෙන බස් රථ ධාවනය වන ග්‍රාමීය මාර්ගය අබලන්ව ඇති අතර, තැනින් තැන අලි නාවන වළවලින් පිරී තිබෙන බව එම ප්‍රදේශවාසීහු පවසති.

එම මාර්ගයේ උඩිස්පත්තුව මහ විදුහල අසල පිහිටි කිලෝ මිටර් 2ක පමණ කොටස අලි නාවන වළවලින් පිරී එම මාර්ගයේ රථවාහන ධාවනයට පවා දැඩි දුෂ්කරතාවයක් උදාවී තිබෙන බව රේටියගම තැන්න කඩේ උඩිස්පත්තුව අවට ගම්මානවල ප්‍රදේශවාසීහු පවසති.

තෙල්දෙණිය රේටියගම මාර්ගය රේටියගම ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන ප්‍රධාන පෙළේ පැරණි මහා මාර්ගයකි. මෙම මාර්ගය රේටියගම කඳු වළල්ලේ පිහිටි සංචාරක නිකේතන රැසකට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන අතර, මෙම මාර්ගය ඔස්සේ ශ්‍රී ලංගම බස් රථ කිහිපයක් හා පෞද්ගලික බස් රථ කිහිපයක්ද දිනපතා ධාවනය වේ.

දේශීය හා විදේශීය සංචාරකයෝ විශාල පිරිසක් ද මෙම මාර්ගය ඔස්සේ ගමන් කරති.

රේටියගම 65 හැවිරිදි වයිමන් ද සිල්වා මහතා. “මෙම මාර්ගය රේටියගම ඇතුළු ගම්මාන රැසකට යන එන ප්‍රධාන පෙළේ මාර්ගයක්. මෙම මාර්ගයේ උඩිස්පත්තුව මහ විදුහල කොටස දැඩි ලෙස අබලන් වෙලා. මාර්ගයේ තැනින් තැන විශාල වළවලින් පිරිලා. මාර්ගයේ සමහර කොටස් නාය යාමටත් ලක් වෙලා, මාර්ගයේ අලි නාවන වළවලින් පිරීම නිසා ගම්මු එකතු වෙලා ශ්‍රමදානයකින් එම කටයුතු කළා. එහෙමත් අපට එය තනිකර කරන්න අමාරුයි. ඒ සඳහා රජයේ සහාය ඉතා කඩිනමින් යොමු වී මෙම මාර්ගයේ අලි නාවන වළවල් යථා තත්ත්වයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.” යැයි පැවැසීය.

67 හැවිරිදි ගාමිණී විතාන මහතා “මෙම මාර්ගය අලි නාවන වළවලින් පිරිලා. පාසල් ළමුන් පාසල් යන්නේ මඩ නාගෙන. මෙම මාර්ගයේ අබලන් කොටස් ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත්කළ යුතුයි.”

රේටියගම මාර්ගයේ බස් රථ ධාවනය කරන බස් රථ හිමියෙක්,

“ මාර්ගයේ විශාල වළවල්. මාර්ගය තැනින් තැන නාය යාමටත් ලක්වෙලා. උඩිස්පත්තුව මහ විදුහල අසල මාර්ගයේ කිලෝ මීටර් දෙකක පමණ කොටසේ විශාල වළවලින් පිරිලා.

මාර්ගයේ කානු පද්ධතිය පස් හා ගල්වලින් පිරිලා. එම නිසා ගම්මු එකතු වෙලා ශ්‍රමදානයක් කරල පාර සුද්ද කළා.

එය අපට කරන්න අමාරුයි. ඒ සඳහා රජයේ සහාය ඉතා කඩිනමින් යොමුවෙලා මෙම මාර්ගයේ වළවල් ටික වසා දමා මාර්ගය යථා තත්ත්වයට පත් කරන්න.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT