කලා ක්ෂේත්‍රයේ ප්‍රවිණයකු මියගියවිට ඔහුගේ හෝ ඇයගේ දේහය තැන්පත් කිරීම සඳහා ජාතික කලා භවන වෙනුවට උසස් තත්ත්වයෙන් යුතු අවමංගල්‍ය ශාලාවක් ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“ජාතික කලාභවන තවම හරිහැටි පිළිසකර කරගන්න අපට බැරිවුණා. ජාතික කලාභවන තමයි අපේ රටේ කලාකරුවන්, වටිනා මිනිසුන්, දැවැන්තයන් මිය ගියවිට අවසන් හෝරා දෙක තුන ගත කරන්න භාවිතා කළේ. අපේ බලාපොරොත්තුවක් තිබෙනවා එය නිවැරදි කරන්න. ඉන් මා අදහස් කළේ රජයේ වෙනම අනුග්‍රහය සහිත ඉතා හොඳ මට්ටමේ පාලර් එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා ජාතික කලා භවන, රටක ජාතික කලා භවන ලෙසම වැඩ නිමකරලා රටට දායාද කරන්න.”