Home » වත්මන් ආණ්ඩුව ඉන්දියාව-චීනය සමඟ ඇතිකරගත් ගිවිසුම් සභාගත කරන්න

වත්මන් ආණ්ඩුව ඉන්දියාව-චීනය සමඟ ඇතිකරගත් ගිවිසුම් සභාගත කරන්න

by mahesh
April 10, 2025 1:00 am 0 comment

වත්මන් ආණ්ඩුව ඉන්දියාව සහ චීනය සමඟ අත්සන් කර ඇති ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවෙහි සභාගත කරන ලෙසත් අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමත් සමඟ ඉන්දියාව සමඟ ගිවිසුම් හතක් සහ චීනය සමඟ ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර ඇති බවටත් මාධ්‍ය මඟින් වාර්තා කළ බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ අනුර කුමාර දිසානායක ජනාධිපති අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම කුමක්ද යන්න පිළිබඳව හෝ එහි අඩංගු කරුණු මොනවා ද යන්න පිළිබඳ කිසිදු දැනුම්දීමක් හෝ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ආරක්ෂක උපදේශක කාරක සභාවේ සාකච්ඡා කර නැහැ.

මේ පිළිබඳව දැනුම්වත් කිරීම සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම්, මෙම කරුණු පිළිබඳව ඔවුන්ගේ වසන් කිරීමට ක්‍රියා කිරීමෙන් උල්ලංඝනය වන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන අතර වහාම චීනය සහ ඉන්දියාව සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසත් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් විවාදයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් ඉල්ලා සිටිමි.

මේ මස (අප්‍රේල්) 4, 5 සහ 6 යන දිනයන්හි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියා. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක් පමණ අත්සන් කළ බව මාධ්‍ය මඟින් මා හට දැන ගැනීමට ලැබුණි. මීට පෙර චීනය සමඟ ගිවිසුම් 70කට අධික ප්‍රමාණයක් අත්සන් කළ බව ජනාධිපතිතුමා ද විදේශ අමාත්‍යතුමා ද ප්‍රකාශ කරන්නට යෙදුණි.

රජයක් විසින් කිසියම් රාජ්‍යයක් සමඟ අත්සන් කරනු ලබන ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන ගැනීමේ පූර්ණ අයිතිවාසිකමක් තිබේ. මීට පෙර සිටි රජයන් විසින් ජනතාව සහ පාර්ලිමේන්තුවට වසන් කරමින් විවිධ රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් නිසා රටක් ලෙස අප හට විවිධ අභියෝගයන්ට මුහුණදීමට සිදු වූවා පමණක් නොව පසුව පැමිණි රජයන්ට එම අත්සන් කරන ලද ගිවිසුම් නිසා විවිධ අපහසුතාවන්ට ලක් වන්නට සිදු විය. ඕනෑම ආණ්ඩුවක් විවිධ රටවල් සමඟ ගිවිසුම්ගත වන්නේ අපේ මාතෘභූමිය ලෙස මිසක ජනාධිපතිවරයෙක් ලෙස හෝ පක්ෂයක් ලෙස හෝ ආණ්ඩුවක් ලෙස නොවේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක උපදේශක කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස මා වසර ගණනාවක සිට ක්‍රියා කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT