අමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇති බද්ද හේතුවෙන් මාතර, වැලිගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රසාද දීමනා ලබා නොදීම හේතුවෙන් ඇති වී තිබෙන ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරියට උපදෙස් ලබා දුන් බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසීය.
අද (09) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය. තවදුරටත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“අදාළ ආයතනය ප්‍රසාද දීමනා ලබා නොදීමේ ගැටලුවක් හේතුවෙන් සේවකයින් 2244ක් වැඩ වර්ජනයක නිරතව සිටිනවා.
මාතර කම්කරු කාර්යාලයේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකළ අතර අදාළ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නා. අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් මාතර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මෙම සේවක නොසන්සුන්තාව ඇති වී තිබෙනවා.”