අස්වැසුම සමාජ සුබ සාධන දීමනා ගෙවීමේදී එය ලැබිය යුතු පිරිසෙන් සියයට 50කට නොලැබෙන බවත්, නොලැබිය යුතු සියයට විසිහයකට අධික පිරිසට හිමිවන බවත් සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලසීස් ආයතනයෙන් කර ඇති සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
මුදල් පිළිබඳ කාරක සභාවට අදාළ කාරක සභා වාර්තා කිහිපයක් ඉදිරිපත් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.
අස්වැසුම කාලය දීර්ඝ කිරීම පිළිබඳව කිසිම ගැටලුවක් නෑ. නමුත් අපි පොඩි ගැටලුවක් සාකච්ඡා කළා කමිටුවේදී. ඒ තමයි සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලසීස් ආයතනයෙන් කර ඇති සමීක්ෂණයකින් අනාවරණය වෙනවා අස්වැසුම ලැබිය යුතු පුද්ගලයන්ගෙන් සියයට පනහකටවත් එය ලැබෙන්නේ නෑ කියන සොයාගැනීමක් සිදු කරලා තිබෙනවා. ලැබිය යුතු නැති පිරිස සියයට 26ක ප්‍රමාණයකට අස්වැසුම ලැබෙනවාලු. අපි නිලධාරීන්ට මේ ගැන කිව්වහම ඒ අය කිව්වේ ජන සංගණනය කෙරීගෙන යනවා, ඒ සමඟ සන්සන්දනය කරන්නම් කියලා කිව්වා. අස්වැසුම ලැබිය යුතු පිරිස කවුද කියන ගැටලුව දිගින් දිගටම තිබුණා. එය දැන් ඔප්පුවෙලා තිබෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මේ සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලසීස් කියන්නේ පෞද්ගලික ආයතනයක් නොවේ. ඒ සමීක්ෂණය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ඇතුළු මහාචාර්යවරු තමයි සිදු කර තිබෙන්නේ.