Home » අතුරුදන්වූවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව බැඳී සිටිනවා

අතුරුදන්වූවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව බැඳී සිටිනවා

by mahesh
April 10, 2025 1:03 am 0 comment

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණික්කම් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (09) අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසීය.

“අතුරුදන් වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කරන්න ආණ්ඩුව බැඳී සිටිනවා. නමුත් අපිට පෞද්ගලිකව ගිහින් මේ පරීක්ෂණ කරන්න පුළුවන්කමක් නැහැ. නීත්‍යානුකූලව, ආයතනික වශයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. පසුගිය කාලයේ තිබූ ආයතනික අසාර්ථකත්වය, පද්ධතිමය අසාර්ථකත්වය තමයි මේ දේවල් ප්‍රමාද වෙන්න මුලින්ම හේතු වුණේ. ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

ජනප්‍රිය වෙන්න නෙවෙයි, මේ දේවල් නැවත සිදු නොවන බවට සහතික වෙන්න අවශ්‍ය ආයතන සහ වටපිටාව සකස් කරන්න වගේම පවතින අසාධාරණකම් ගැන සොයා බලා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කළ යුතුයි. සහන සැලසීමේ කාර්යාලය සහ අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නැත්තේ මෙම ආයතන නමින් පමණක් පිහිටුවලා තිබීම නිසාත් ප්‍රමාණවත් ලෙස ශක්තිමත් නොවීම සහ අසාර්ථකභාවය තිබීම නිසාත් ඉතින් මේක තමයි පසුගිය කාලයේ වුණේ, මේක තමයි අපි නිවැරදි කරන්න හදන්නේ. නිවැරදි පුද්ගලයන් මෙම ස්ථානවල සිටින බවටත්, සම්පත් ප්‍රමාණවත් ලෙස වෙන් කර ඇති බවටත්, මෙම ආයතනවලට ඔවුන්ගේ කාර්යයන් ඉටු කළ හැකි බවටත් වගබලාගන්න ඕනෑ. අතුරුදන්වූවන් පිළිබඳ තවමත් නඩු තියනවා. මේවා පසුගිය වසර 16ක කාලය තුළ විභාග වෙමින් පවතින නඩු. ඒක ලේසි නෑ. එය පහසු නැහැ, නමුත් යුක්තිය සහතික කිරීමට අපි කැපවී කටයුතු කරනවා.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දීමට කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට ඇමැති මණ්ඩලය මේ වනවිට අනුමැතිය ලබා දී තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT