“සමගි ජන බලවේගය තරම් කාන්තාවන්ට සහ ළමයින්ට සේවය කළ වෙනත් පක්ෂයක් නැහැ. ගියවර ප්‍රාදේශීය සභාව නියෝජනය කරද්දී ලැබූ දීමනා හා පෞද්ගලික ධනය වැය කරමින් බළපිටියේ කාන්තාවන් සහ ළමයින්ට විශාල සේවාවක් ඉටු කිරීමට හැකිවුණා. මෙවර මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම කාන්තාවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරනවා.” යැයි සමගි ජන බලවේගයේ බළපිටිය ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවක් වන ඔෂිලා ඩබ්ලිව්. ද සොයිසා මහත්මිය පැවසුවාය. ඇය තවදුරටත් මෙසේද කීවාය.
“මම පසුගිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්ව කාන්තා සහ ළමා අභිවෘද්ධිය උදෙසා විශාල සේවාවක් කළා. මට ලැබුණු පළමු ප්‍රතිපාදනවලින් මම නියෝජනය කරන බළපිටිය බ්‍රාහ්මණවත්ත කොට්ඨාසයේ මාතෘ සහ ළමා සායනය පිළිසකර කර දීමට හැකි වුණා. ගැබිනි මවුවරු ආවම වාඩිවෙන්න තැනක්වත් තිබුණේ නැහැ. කොරෝනා සමයේදී අඩු ආදායම්ලාභී පවුල්වල විශාල පිරිසකට පෞද්ගලික ධනයෙන් උදව් කිරීමට හැකි වීම ගැන සතුටු වෙනවා. ළමා හා කාන්තා කමිටුවක් පත් කරන්න කියා ගියවර ප්‍රාදේශීය සභාවට මම යෝජනාවක් ගෙනැවිත් ස්ථිර කළත් එය ඉටු කරදීමට එදා පාලකයෝ කටයුතු කළේ නැහැ. නමුත් සමහර ප්‍රාදේශීය සභාවල එම කමිටු පිහිටුවා විශාල සේවාවක් කළා. අපට කරන්න බැරි වීම ගැන කනගාටු වෙනවා.”