ආර්ථික හා සමාජ අභියෝගවලට මුහුණදෙමින් ස්වකීය ක්ෂේත්‍රයන්හි කැපවීම, නවෝත්පාදනය සහ වගකීම තුළින් විශිෂ්ටත්වය පෙන්නුම් කොට ජීවිතය ජයගත් කාන්තාවන් අගයන ෆ්‍රීඩා කොරෙයා සම්මාන උලෙළ උත්කර්ෂවත් ලෙස කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ගාමණි කොරෙයා පදනම විසින් මෙම සම්මාන උලෙළ සංවිධානය කළ අතර සිය පවුල සවිබලගැන්වීම තුළින් දරිද්‍රතාව පිටුදැකීමට කටයුතු කළ දිරිය කාන්තාවන් ඇගයීම මෙහි දී සිදුවිය. ඊට අමතරව ඔවුන් සම්බන්ධයෙන් රටටම තොරතුරු ඉදිරිපත් කළ ලේඛක ලේඛිකාවන් ඇගයීම ද විශේෂත්වයකි. ක්‍රීඩාව, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය මඟින් මෙන්ම පවුලේ දරිද්‍රතාව පරාජය කොට ජීවිතය ජයගත්, කාන්තාවන් ඇගයීම හා ඔවුන් සවිබලගැන්වීම ප්‍රධාන අරමුණ කරගත් මෙම සම්මාන උලෙළ පිළිබඳ දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් රටපුරා විසිරී සිටින ලේඛක ලේඛිකාවෝ 200කට වැඩි ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර තිබිණි.
එසේ එවන ලද අයදුම්පත් මනා පරීක්ෂාවකට ලක්කොට තෝරා ගත් 70 දෙනකුට ගාමණී කොරෙයා පදනම සකස් කළ දත්ත පත්‍රිකාව යවනු ලැබූ අතර, ධෛර්යවන්ත කාන්තාවක් ගැන කතා පුවතක් ලීවීමට ද ඔවුන්ට ආරාධනා කෙරිණි. ඔවුන් අතරින් සෑම පළාතක්ම නියෝජනය වන පරිදි විශේෂ මණ්ඩලයක් මඟින් අධීක්ෂණයට සහ තක්සේරුවට ලක්කොට දිරිය කාන්තාවන් සහ ලේඛක ලේඛිකාවන් 36 දෙනකු තෝරාගෙන ඇගයීමට ලක්කෙරිණි.
එවන ලද දත්ත පත්‍රිකා සහ කතාවලින් පෙනී ගියේ, මෙරට ග්‍රාමීය හා නාගරික කුටුම්භයන් තුළ මතුව තිබෙන සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැටලුවල සැබෑ ස්වභාවයයි. මේ ගැටලුවලට අභියෝග කරමින් ජීවිතය ගොඩනඟා ගත් කාන්තාවන් අනුගමනය කළ උපාය හා උපක්‍රම ගැන සමාජ කතිකාවක් ඇති කිරීම වැදගත් කටයුත්තකි. එමෙන්ම මෙරට දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රතිපත්ති සම්පාදන කිරීමේ දී ෆ්‍රීඩා කොරෙයා සම්මාන වැඩපිළිවෙළ මඟින් රැස්කර ගත් සමාජ සහ ආර්ථික දත්ත ප්‍රයෝජනවත් වන බව නිසැකය.
එහි දී අදහස් පළකළ ලෝක බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥ ශ්‍රියාණී හුලුගල්ල මහත්මිය :
“මෙය ගාමණි කොරයා මහතාගේ ව්‍යාපෘතියක්.” ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කාන්තාවන් අගය කිරීම මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු රටටම සන්නිවේදනය කරන ලේඛිකාවන් අගයමින් සම්මාන ප්‍රදානය කරනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් කාන්තාවන් වෙනවා. ඒ වගේම සියලුම වෘත්තීන්වල ප්‍රධාන ස්ථානවල කාන්තාවන් ඉන්නවා. ඒ වුණත් අපේ ශ්‍රම බළකායට ලැබෙන දායකත්වය සියයට 34 ක් පමණ වෙනවා. ඒ සම්බන්ධයෙන් පුදුමයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස බලන විට ප්‍රධාන අංශ අතරේ කාන්තාවන් විශාල දායකත්වයක් ලබා දෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපන, නීති වැනි අංශ දෙස බලන විට කාන්තාවන් ඉහළ මට්ටමක ඉන්නවා. නමුත් ශ්‍රමදායකත්වය ගත්විට සියයට තිස් හතරක් වැනි මට්ටමක සිටීම ප්‍රශ්නයක්. කාන්තාවන් තවමත් ගතානුගතික වෘත්තීන් වෙත යොමුවෙනවා. නමුත් ඒ ප්‍රවණතාව ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. සංගණනවල දී නියම දත්ත ඉදිරිපත් වෙනව ද යන්න ප්‍රශ්නයක්. කාන්තාවන්ට විශාල අභියෝග තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ට වගකීම් තිබෙනවා. ඒ නිසා ඇතැම්විට විශේෂ ක්ෂේත්‍රවලට යොමු වන්න කාලයක් නොතිබෙන්න පුළුවන්. ඔවුන්ට අවදානම් ගැනීමේ පසුබෑමක් තිබෙනවා. ඒ නිසාම ගතානුගතික ක්ෂේත්‍රවලට කාන්තාවන් යොමු වෙනවා. රටේ යුද්ධයක් පැවති නිසා කාන්තා හිංසනයන් තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ කතා කරනවා. නමුත් ප්‍රායෝගිකව ඒවා සිදුවන්නේ නෑ.
බොහෝවිට ව්‍යාපාරවලින් බලාපොරොත්තු වෙන්නේ රජය විසින් සියල්ලම කරයි කියලයි. කාන්තාවන් ඉහළ ස්ථානවල සිටීම ලංකාවට විශේෂ දෙයක් නොවෙයි. ලොව පළමු අගමැතිනියත් ලංකාවේ කෙනෙක්. ලංකාවේ අගවිනිසුරුකම හොබවන්නේත් කාන්තාවක්. මෑතයුගයේ බොහෝ තනතුරුවලට කාන්තාවන් පැමිණ තිබෙනවා. කාන්තාවන්ගේ අභියෝග තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් යම් යම් තැන්වලට පැමිණි පසු එලෙස සොයා බලනවාද කියන එක ප්‍රශ්නයක්. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ලේඛිකාවන්ට ද අද සම්මාන ලබාදෙනවා. මේ සම්මාන මඟින් ඔවුන්ට පුළුල් අවකාශයක් ලබා දී තිබෙනවා. ආර්ථිකයට දායකත්වය දුන්න කාන්තාවන් හඳුනාගෙන සම්මාන දීම හා ඔවුන් ගැන සන්නිවේදනය කළ අය ඇගැයීමට ලක් කරනවා.”
සමාජ ක්‍රියාකාරිනී වොන්ඩා කොතලාවල මහත්මිය,
“ශ්‍රී ලාංකේය ජන සමාජයට ප්‍රෞඪත්වයක් එක්කළ පිරිස් ඉන්නවා. තමන්ගේ ශක්තිය හා අධිෂ්ඨානය විදහා දැක්වූ පිරිසකට අද දින සම්මාන ලබාදෙනවා. අතිශය දුෂ්කර තත්ත්වයන් අබිබවා ගිය කාන්තාවන් අපට මුණගැසී තිබෙනවා. අභියෝග ජයගනිමින් සමස්ත ප්‍රජාව නඟාසිටුවීමට ඔවුන් උත්සාහ කර තිබෙනවා. එහෙම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ද ඔවුන් කටයුතු කර තිබෙනවා. අධිෂ්ඨානය මෙන්ම මහන්සි වී වැඩ කිරීමට ඇති උනන්දුව මේ වෙනුවෙන් අවශ්‍යයි. ඔවුන් ආදර්ශවත් පුරවැසියන් වී තිබෙනවා. එය අද ඇගයීමට ලක් කෙරෙනවා” යැයි සඳහන් කළාය.
මෙම මුලපිරීම හුදෙක් කාන්තාවන්ගේ උත්සාහය හඳුනා ගැනීමෙන් ඔබ්බට යන අතර අඩු ආදායම්ලාභී කාන්තාවන් තම පවුල්වල තත්ත්වය නඟාසිටුවීමට දරන ප්‍රයත්නයේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ බාධාවන් පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණ අභ්‍යාසයක් ද වේ. පවුල සවිබලගැන්වීම තුළින් දිළිඳුකම පරාජය කිරීමට ආනුභාවසම්පන්න කාන්තාවන්ට උපකාර කිරීම සඳහා දේශපාලන අභිලාෂය සහ ගම්‍යතාව මෙහෙයවීම සඳහා පදනම ශක්තිමත් ලොබියක් ලෙස ක්‍රියාකරනු ඇත. රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙමින් තම පවුලේ ආර්ථිකය සහ සමාජීය තත්ත්වය නඟාසිටුවීම සඳහා අභියෝග සහ බාධක ජයගනිමින් ඔවුන් ලැබූ සාර්ථකත්වය විශේෂයෙන් ඇගයීමට ලක්විය.
මෙම ප්‍රයත්නයේ අපේක්ෂිත ප්‍රතිඵලය වනුයේ ඔවුන්ගේ අඩිපාරේ යාමට අපේක්ෂා කරන අනෙකුත් කාන්තාවන් පොළඹවා ගැනීමයි. මෙම ප්‍රයත්නය තම පවුල්වල විමුක්තිය සඳහා ධනාත්මකව ක්‍රියාකිරීමට සහ එමඟින් රටේ සංවර්ධන ප්‍රයත්නයට දායක වීමට සමාන අදහස් ඇති ආස්වාදජනක කාන්තාවන්ගේ සහභාගිත්වය දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව ලේඛකයන් විසින් එකතු කරන ලද පර්යේෂණ ඇසුරින් ලිපියක් සකස් කිරීමට ගාමණී කොරියා පදනම බලාපොරොත්තු වන අතර මෙම අභ්‍යාසය මඟින් කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් සවිබලගැන්වීමට අදාළ ගැටලු විසඳීමට සහ බාධාවන් ඉවත් කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට රජයේ ක්‍රියාමාර්ග ආරම්භ වනු ඇතැයි ගාමණී කොරියා පදනම විශ්වාස කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආරියසිංහ, ගාමණී කොරෙයා පදනමේ සභාපති ආචාර්ය හර්ෂ අතුරුපාන, ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, ව්‍යාපෘති කළමනාකාර ශිරාණි දිසානායක, ව්‍යාපෘති සම්බන්ධීකාරක චන්දන විජේකෝන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී තුසිත් ජීවන්දර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය – ශාන් රඹුක්වැල්ල