Home » වතු ආශ්‍රිත පාසල්වලට පහසුකම් දීම අගයනවා

වතු ආශ්‍රිත පාසල්වලට පහසුකම් දීම අගයනවා

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා

by mahesh
April 10, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

මලයාලම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජයේ කාර්යක්ෂතාව සිය සතුටට කරුණක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටියේය.

වත්මන් රජය, ජනතා රජයක් ලෙස ප්‍රචලිත වී තිබෙන බවත් ඒ නිසාම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් ඔවුන්ට සහන ලබා දීමත් සිදු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මෙරට මලයාලම් ප්‍රජාව වෙනුවෙන් ඉන්දීය රජය මඟින් ලබා දුන් නිවාස 10,000 සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ලබා දුන් ස්මාර්ට් පන්ති කාමර (smart classroom)වල ප්‍රගතිය සහ ඉදිරි ව්‍යාපෘති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා සමඟ පෙරේදා (08) පස්වරුවේ එම අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙසේ ද කියා සිටියේය.

“වතු ජනතාවට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය කඩිනමින් සිදු කරන්න අවශ්‍යයි කියලා ඔබතුමා කීම ගැන අතිශයින් සතුටු වෙනවා. ඇත්තටම මීට පෙර රජයන්වල කවුරුත් එහෙම කඩිනම් කරන්න කියලා ඉල්ලුවේ නැහැ. මීට පෙර අපි මලයාලම් ජනතාවට නිවාස ලබාදීම ඇතුළු සහන ලබා දුන්නා. ඒත් පැවති රජයන් පැත්තෙන් ඒවාට එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මේ නිවාස 10,000 මලයාලම් ජනතාවට ලබා දීමට ඔබතුමාට ඇති උනන්දුව මම අගය කරනවා. වතුකරයේ පාසල් සඳහා ස්මාර්ට් ක්ලාස් රූම් ලබා දීමේ වැඩසටහනේ රජය පැත්තෙන් කළයුතු වැඩ කොටස් සිදු කළ විගස ඉන්දීය රජය පැත්තෙන් කළ හැකි සියලු දේ සිදු කර දෙන්න සූදානම්. ඒ වගේම මලයාලම් ජනතාව සඳහා නි‍‍වෙසක් ලබා දීමේ දී ඉඩමක අයිතිය ද ලබාදීම සිදුකළ හැකි නම් එය යහපත්”

ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා:

මලයාලම් ප්‍රජාවට ඔප්පුව සහිත ඉඩම් කොටසක් ලබා දිය යුතුයි යන්න තම රජය පිළිඅරගෙන සිටිනවා. පූර්කාලීනව එම නිවාස ඔවුන් විසින්ම භුක්ති විඳිමට අවශ්‍ය කටයුතු සලසා නි‍ෙවස සමඟ ඉඩම් ඔප්පුව ලබා දීමට කටයුතු කරනවා.

මලයාලම් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණ වුණා. ඒ ජනතාවට ඉඩමක්, නි‍ෙවසක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දීය රජය ඒ සඳහා උදව් කිරීම සතුටට කරුණක්. මේ නිවාස ඉදිකිරීමේ දී තිබූ දුර්වලතා අපි හඳුනාගෙන තියෙන්නේ. නමුත් ඉදිරියේ දී එම දුර්වලතා නැතුව කඩිනමින් නිවාස ඉදිකිරීම් කළ යුතුයි. අමාත්‍යාංශය ලෙස මේ වනවිට නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් තෝරාගෙන අවසන්. පසුගිය කාලයේ ඉඩම් තෝරා ගත් ක්‍රමවේදයේ අඩුපාඩු හා දුර්වලතා අපි දැක්කා, නායයාම් සහිත අධි අවදානම් ජනතාව සඳහා මේ නිවාස ලබාදීමේ දී අපි ප්‍රමුඛතාව ලබා දෙනවා. අපිට වුවමනාවක් තියෙනවා ඉක්මනට මේ නිවාස හදලා දෙන්න. අපි උනන්දු වෙනවා මේ ටික කඩිනමින් අවසන් කරන්න.”

පසුගියදා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමත් සමඟ දෙරට අතර පැවති සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත්, ශ්‍රී ලාංකිකයන් ලෙස ඉන්දීය අගමැතිවරයා සහ පැමිණි කාර්ය මණ්ඩලයට සිදු කරන ලද ආගන්තුක සත්කාරවලට විශේෂ ස්තූතියක් මහ කොමසාරිස්වරයා විසින් පුදකරන ලදී. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප්, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහත්වරු එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT