Home » අමෙරිකාවේ නව බදු නිසා අපේ රැකියා රැසක් අනතුරේ

අමෙරිකාවේ නව බදු නිසා අපේ රැකියා රැසක් අනතුරේ

by mahesh
April 10, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අමෙරිකාව බදු පැනවීම හේතුවෙන් පුද්ගලයන් 350,000ක ඍජු හා මිලියනයකට අධික වක්‍ර රැකියා කරන අයගෙන් බහුතරයකගේ ජීවනෝපාය අනතුරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දැදිගම ආසනයේ පසුගියදා (07) පැවති ජන හමුවක් අමතමිනි.

අද වන විට කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී ගනු-දෙනු කිරීම ද නතර වී ඇති බවත් අමෙරිකා එක්සත් ජනපදය අප රටේ අපනයනවලට 44%ක ප්‍රතිචාරාත්මක බදු පනවා එය 9 වැනිදාට ක්‍රියාත්මක කරන්න නියමිත බවත් මේ බදු පැනවීම නිසා අමෙරිකානු වෙළෙඳපොළට ප්‍රවේශ වන අපේ අපනයනවලට 44%ක බදු පැනවීම තුළ අපේ අපනයනවල මිල තරගකාරීත්වය නැතිවී තරග කිරීමේ අවස්ථාව අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ නිෂ්පාදනය වන ඇඟලුම්වලින් 40%ක් අමෙරිකාවට යන බවත් එදා මේ වැඩසටහනට අපහාස උපහාස කළ පිරිසට පවා අද වන විට මෙම ක්ෂේත්‍රයේ වටිනාකම මතක් වී ඇති බවත් මේ බදු නිසා අපනයනවල ඉල්ලුම අඩුවන විට කර්මාන්තශාලවල නිෂ්පාදනය අඩු වී ආදායම් අඩුවී සේවක කප්පාදු පවා සිදුවී මොවුන්ගේ ජීවනෝපාය පවා අහිමි වී යා හැකි බවත් මේ නිසා 350,000ක ඍජු හා මිලියනයකට අධික වක්‍ර රැකියා කරන අයගේ බහුතරයකගේ ජීවනෝපාය අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එමෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයට අමතරව තවත් අපනයන ආශ්‍රිත කර්මාන්තවලට ද මෙම බදු පැනවෙන බවත් මෙහිදී රජයෙන් ද දැවැන්ත අඩුපාඩුවක් වූ බවත් මේ බදු ගැන මීට මාස ගණනාවකට පෙර සමගි ජන බලවේගය අනාවරණය කළ බවත් ඒ අවස්ථාවේ රජය මේ කරුණු උපහාසයට ලක් කරමින් සිටියා මිස පියවරක් නොගත් බවත් දැන් බදු පැනවූවාට පසු කලබල වී රජය කමිටු පත් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

රට වට්ටවා ජනතාව කුපිත කර දේශපාලන බලය ලබා ගැනීම වැනි පහත් ක්‍රියාවල සමගි ජන බලවේගය නිරත නොවන බවත් මේ බදු පැනවීම ක්‍රියාත්මක නොවෙන ලෙස සමගි ජන බලවේගය ප්‍රාර්ථනා කරන බවත් රජය දැන් කලබල වී විවිධ කතා කියමින් යන බවත් තවදුරටත් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකර කටයුතු කළ යුතු බවත් උඩඟුකම මහන්තත්තකම ආදිය නිසා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ යෝජනා පවා නොතැකූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ බදු නිසා කර්මාන්ත වැසී ගියහොත් සමස්ත ආර්ථිකයම කඩා වැටී 2028 ණය ගෙවන්න නොහැකි තත්ත්වයක් මතුවන බවත් මේ ගැන තමා යුරෝපා හවුලේ, ඉතාලියේ තානාපතිවරයා සේම ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි බවත් තමාට කළ හැකි උපරිම කාර්යභාරය මෙන් වෙනුවෙන් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT