අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයකට යටවී රස්නායකපුර පොලිස් මාර්ග බාධකයේ පෙරේදා (08) රාත්‍රියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු මරණයට පත් වූ බව රස්නායකපුර පොලීසිය කියයි. අධික වේගයෙන් පැමිණෙන වෑන් රථය පොලිස් මාර්ග බාධකය හරහා ධාවනය වීමෙන් මේ අනතුර සිදු වී ඇති බව පොලීසිය කියයි.
මරණයට පත්ව ඇත්තේ රස්නායකපුර පලුගස් හන්දිය ආසන්නයේ පදිංචි රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි 84671 පොලිස් කොස්තාපල් ඒ.එච්.එම්. උපුල් මධුෂංක අවිවාහකයකු බව කියයි. මේ පොලිස් කොස්තාපල්වරයා සමඟ තවත් නිලධාරීන් දෙදෙනකු රස්නායකපුර කඩිගාව පාලම ආසන්නයේ දී රාත්‍රී රථවාහන රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට නවතන ලෙස කළ අණ කිරීම නොතකමින් මාර්ග බාධකයේ රාජකාරි කළ නිලධාරීන් සහ ඒ ස්ථානයේ සිටි තවත් සිවිල් අයකු ද යට කරමින් ගොස් වෑන් රථය නැවතී ඇති බව පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සෙසු නිලධාරීන් දෙදෙනා සහ සිවිල් පුද්ගලයා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර බරපතළ තත්ත්වයෙන් පසු වූ පොලිස් කොස්තාපල්වරයා මරණයට පත් වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ තිබූ පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදි දෙකක්ද වෑන් රථයට යටවි කැබලි වී තිබු බව කියයි. අනතුරින් පසු අධික වේගයෙන් පැමිණි වාහනය මද දුරක් ගොස් නැවතී ඇති බවත් රියැදුරු බීමත්ව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුරින් මරණයට පත් පොලිස් නිලධාරියා සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලායි.
2009 නොවැම්බර් 5 වැනි දින පොලීසියට බැඳී ඇති මේ කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා පොලිස් සේවයට එක්ව තිබුණි.
අනතුරින් මිය යන විට රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කර ඇත. පොලිස් නිලධාරියාගේ සිරුර නිකවැරටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර භූමදානය කිරීමට භාර දීමට නියමිතය. මේ අනතුර සිදු කළ රියැදුරා රස්නායක පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.