Home » ඉවසීමෙන් දළදා වඳින්න

ඉවසීමෙන් දළදා වඳින්න

ඇමැති සුනිල් සෙනෙවි ජනතාවගෙන් ඉල්ලයි

by mahesh
April 10, 2025 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

සිරි දළදා වන්දනාව සිදු කෙරෙන දින10 පුරා ඉතාමත් ඉවසීමෙන් දළදා වහන්සේ වැඳ පුදාගැනීමට එක්වන්නැයි මහනුවරට ළඟා වීමට නියමිත අතිවිශාල ජනකායගෙන් බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් ඊයේ (09) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ අතිවිශාල ජනකායක් සිරි දළදා වන්දනාවට පැමිණීමට නියමිත බැවින් ඇතැම් විට පැය ගණනක් දළදා වහන්සේ වන්දනාවට පැමිණෙන ජනතාවට පෝලිම්වල සිටීමට සිදු විය හැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“උඩරට සෙංකඩගල නුවර වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ සලකන්නේ බෞද්ධ ජනතාවගේ උරුමයක් හැටියට පමණක් නොවේ. සකල ලෝකවාසී ජනතාවගේ සංස්කෘතික උරුමයක් ශේෂයක් හැටියටයි.

දැන් වසර දාසයකට පසුව සිරි දළදා වන්දනාවක් සිදුකර ගැනීමට ශ්‍රී ලාංකික ජන ප්‍රජාවට වගේම ලෝකවාසී සියලු දෙනාට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා මහා දළදා දැක්මකට අවකාශ දීමක් උදා වෙලා තිබෙනවා.

අප්‍රේල් 18 සිට ආරම්භ කෙරෙන දළදා වන්දනාව 27 වැනිදා අවසන් වීමට නියමිතයි. මගේ ආරාධනාව ඔබ සියලු දෙනාට. එන්න මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. සිරි දළදා වන්දනාව සිදු කරගන්න.

එහිදී අමාත්‍යාංශය ඇතුළු ලංකා රජය ඉතා හොඳින් සංවිධිතව සංවිධානයට මැදිහත් වෙලා තිබෙනවා. මහනුවරට ළඟා වෙන සුවහසක් ජනතාවට නොතෙමී පෝලිමේ ඉඳලා මේ අවස්ථාවට සමීප වෙන්න පුළුවන්.

සියලු ජනතාවට අවශ්‍ය ආහාරපාන, දන්සල්, සනීපාරක්ෂාව, ආරක්‍ෂාව, සෞඛ්‍ය පහසුකම් සංවිධාන වෙමින් තිබෙනවා.

ගෞරවාර්හ මහානායක හිමිවරුන්ගේ සහ අනුනායක හිමිවරුන්ගේ මඟපෙන්වීමත් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමත් සහිතව සංවිධාන කටයුතු සිදු වෙනවා.

පැය ගණනක් දළදා වහන්සේ වන්දනාවට පැමිණෙන ජනතාවට පෝලිමේ ඉන්න සිදු වෙන්න පුළුවන්. ඒක රහසක් නෙවෙයි. එහෙම ඉන්නකොට කායික හා මානසික විඩාව නිවන්න අපි ගුවන්විදුලි නාළිකාවක් ඔබට ඇහෙන්න සලස්වා තිබෙනවා.

දළදා වහන්සේ පිළිබඳව පර්යේෂණය කළ, ලිපි ලියූ, ඓතිහාසික උරුමයට සම්බන්ධ වූ බොහෝදෙනෙක් මේ ගුවන්විදුලිය හරහා ඔබ අමතයි.

දළදා වහන්සේ පිළිබඳ වත් පිළිවෙත්, චාරිත්‍ර, අතීතය පිළිබඳ ප්‍රඥාව සහ සංස්කෘතික උරුමය පැවරෙන ආකාරය වගේම අධ්‍යාපනික වැදගත්කමකින් යුත් වැඩසටහන් මෙම ගුවන්විදුලි නාළිකාවෙන් මුළු මහනුවරටම ඇහෙන්න සලස්වා තිබෙනවා.

ඔබ සියලු දෙනා රොද බැඳගෙන කන්ද උඩරට සෙංකඩගල මහනුවරට එන්න. එතන පෝලිම්වල ඉන්නකොට ඇති වන අපහසුතා සහ කායික විඩාබරිත කියන කාරණයට ඉවසීමෙන් මුහුණ දෙන්න සිදු වෙනවා.

කොයිතරම් සංවිධානාත්මකව මේ කටයුත්ත සිදු කළත් මහනුවරට ළඟා වෙන්න නියමිත අතිවිශාල ජනකායකට ඉවසීමෙන් මේ දින දහය පුරා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සිදු වෙනවා. ඉවසීමෙන් මහා වටිනා අවස්ථාව බෙදා හදාගනිමු. කාලෙකට පසුව උදා වන දුර්ලභ අවස්ථාවට සහභාගි වී මේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත ලෝකයේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී වාම දළදා වහන්සේ වැඳ පුදාගෙන දැක බලාගෙන කවදා හෝ කියා නිම කරන්නට බැරි අමිල අත්දැකීමක් එකතු කරගන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT