වසර 2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මුදාගෙන ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට කටයුතු කිරීමේ භාරදූර වගකීම එදා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය (Fiscl Policy) මෙහෙය වීම මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාටත්, මුදල් ප්‍රතිපත්තිය (Monetary Policy) මෙහෙය වීම මහ බැංකු අධිපතිවරයා ලෙස තමාගේත් උර මත පැවරුණු විශාල වගකීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ බිඳවැටීම, නැඟිටීම හා වේගවත්ව ඉදිරියට යෑම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ලියූ Srilanka’s Economic Revival ග්‍රන්ථය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටලයේ ඊයේ (08) එළිදැක්වීමේ අවස්ථාවේදී ප්‍රධාන දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා එසේ කීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර 2022දී අර්බුදයට ලක්වීමේ සිට අද දවස වනවිට එය යථා තත්ත්වයට පත් වෙමින් අභියෝග මැද ඉදිරියට සාර්ථකව ගමන් ගන්නා ආකාරය පිළිබඳව ඉතා තීරණාත්මක අවස්ථාවලදී මහින්ද සිරිවර්ධන මුදල් ලේකම්වරයා ගැඹුරින් සහ විශ්ලේෂණාත්මකව අදහස් දැක්වූ අයෙක් බව ද අධිපතිවරයා කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ආචාර්ය පී. නන්දලාල් වීරසිංහයන් පත් කොට හරියටම 8 වැනි දිනට වසර 3ක් සපිරේ.
මෙම සුවිශේෂී දිනය තම ග්‍රන්ථය දොරට වැඩීමට මහින්ද සිරිවර්ධනයන් තෝරාගැනීම ද කැපීපෙනෙන සිද්ධියකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා,
“මෙයට හරියටම වසර තුනකට පෙර මම මහ බැංකු අධිපතිවරයා ලෙසත් මහින්ද සිරිවර්ධන මහතා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙසත් පත්කරනු ලැබුවා. අප දෙදෙනාට පැවරුණේ විශාල වගකීමක්. එම වගකීම ඉටු කිරීමේදී අප දෙදෙනාට වඩාත් පහසු වූයේ අප දෙදෙනාගේ අන්‍යෝන්‍ය බැදීමයි.
1991 මහ බැංකුවට බැඳුනේ එකට. අප දෙදෙනාම කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්. අප දෙදෙනා විවාහ වුණෙත් එකම දිනයක. අප දෙදෙනාටම දරුවන් දෙදෙනා බැගින් සිටිනවා.
මහින්ද සිරිවර්ධන මහතාට සිටින්නේ පිරිමි දරුවන් දෙදෙනෙක්. මට දූවරුන් දෙදෙනෙක් සිටිනවා. මම මෙය ප්‍රකාශ කළේ අප දෙදෙනාගේ සබැඳියාව කොතරම් ද යන්න පැහැදිලි කිරීමටයි.
ඕනෑම රටක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම සිදුකරන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වන්නේ මහ බැංකුවෙන්. ඒ අනුව අප රටේ ගැටීමකින් තොරව මෙම ආයතන දෙකම එකම අරමුණකින් කටයුතු කිරීමට අප දෙදෙනාගේ පත්වීමත් බලපෑවා. එවකට අප රටේ අතව්‍යශ්‍ය සේවා සපයා ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ නිල සංචිත තිබුණේ නැහැ. උද්ධමනය 78%ක් ඉහළ නැඟ තිබුණා. ආහාර උද්ධමනය 99%යි. මෙවැනි තත්ත්වයක තිබූ රට ඉන් මුදා යථා තත්ත්වයට පත් කරගැනීමට මහ බැංකුව, මුදල් මණ්ඩලය ලෙස අප මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවූවා.
මහා භාණ්ඩාගාරය රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය යහපත් ලෙස හැසිරෙව්වා. ඒ නිසා මේ වන විට රටේ ආර්ථිකය අභියෝග මැද වුවත් යථා තත්ත්වයට පත්ව ඉදිරියට යෑම පටන් ගෙන තිබෙනවා යැයි අධිපතිවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ හිටපු ධූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් මහතා
වසර 2022 ශ්‍රී ලංකාව ලබාගත් දෙස් විදෙස් ණය ආපසු ගෙවීම නිල වශයෙන් තාවකාලිකව අත්හිටවූවා.
එවැනි තත්ත්වයක් තිබියදී නැවත රට ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කරගැනීමට කටයුතු කළ යුතු වුණා. එම කටයුතු සිදු කිරීමේදී මහ භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේ වගකීම පැවරුණේ මහින්ද සිරිවර්ධන මහතාටයි.
මහ බැංකුවේ අධිපති ධුරයට පත් වුණේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතායි. වරින් වර ආණ්ඩු මාරු වුණත් මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාත්, අධිපතිවරයාත් නොවෙනස්ව පැවතීම අයි. එම්. එෆ්. වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට විශාල ශක්තියක් වී තිබෙනවා.
කුඩා ආර්ථිකයක් වුවත් එය වේගවත්ව ගොඩනැඟීමට හැකි පහසුකම් ලබාගැනීමේදී මෙවන් නිලධාරින්ගේ මැදිහත්වීම අගය කළ යුතු වෙනවා.“
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ආචාර්ය Takafumi Kadano මහතා,
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තීන් ශ්‍රී ලංකාවට තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින ශක්තීන් යොදාගනිමින් අපනයන වෙළෙඳපොළ වැඩිදියුණු කරගනිමින්, විවිධාංගීකරණය කරගනිමින් ඉදිරියට යා යුතුයි. “
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,
“ එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද තීරුබදු මඟින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ ප්‍රතිවිපාක අවම කිරීම සඳහා අපනයන වෙෙළඳපොළ විවිධාංගීකරණය අත්‍යවශ්‍ය වනවා.
ශ්‍රී ලංකාවේ අපනයන වෙෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම අද වනවිට කවරදාටත් වඩා පැහැදිලියි.
ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44%ක තීරුබදු පැනවීමේ අභිප්‍රාය පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනයෙන් මෙම අවදානම හෙළි විය, මන්ද ශ්‍රී ලංකාවේ අපනයනවලින් 23%ක් එක්සත් ජනපද වෙළෙඳපොළට ය.
නිෂ්පාදන වශයෙන් ගත්කල ශ්‍රී ලංකාවේ අපනයනවල සාන්ද්‍රණය. ඇඟලුම් ප්‍රමුඛ නිෂ්පාදනයක් ලෙස පවතින අතර අපනයනවලින් 50%ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපීය සංගමයට වේ. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන දුර්වලතාවක් සහ අවදානමක් ලෙස දිගු කලක් තිස්සේ ඉස්මතු කර ඇත.
සමකාලීන ගෝලීය වෙළෙඳාම කලාපීය සහ ගෝලීය වටිනාකම් දාමවල ඛණ්ඩනය වූ නිෂ්පාදනය මත පදනම් වී ඇත. වෙළෙඳ තන්ත්‍රයේ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම සඳහා ශක්තිමත් වෙළෙඳ සහ ආයෝජන ආයතන අවශ්‍ය වෙනවා.
කලාපයීය වටිනාකම් දාමවල නිරත වීමේ සහ අපනයන පුළුල් කිරීමේ තීරණාත්මක අංගයක් වන්නේ එබැවිනි. වෙළෙඳ ගිවිසුම් වැනි ශක්තිමත් වෙළෙඳ ආයතන, අද ඉතා පැහැදිලි වී ඇති අවිනිශ්චිතතාවේ ගෝලීය පරිසරයක වඩාත් වැදගත්.
ශ්‍රී ලංකාව, විශේෂයෙන් අග්නිදිග ආසියාවේ සහ ඉන්දියාවේ නව වෙළෙඳපොළවල තුළට පිවිසීමේ උත්සාහයන් වේගවත් කිරීම, ගතික ආසියානු ආර්ථිකයන්ගෙන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා කලාපයීය වටිනාකම් දාමයන් තුළට ඒකාබද්ධ වීමට හැකි වන පරිදි, වෙන කවරදාටත් වඩා තීරණාත්මකයි.
අපනයන නිෂ්පාදන සහ වෙළෙඳපොළවල විවිධාංගීකරණය කිරීම තුළින් ගෝලීය කම්පනවලට ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ අවදානම් අවම කිරීමේ උපායමාර්ගයක් ලෙස මෙම දිගුකාලීන උරුම ගැටලුව විසඳීම ඉතා වැදගත්.
මූල්‍ය සහ සංචිතවලට අමතරව, භාණ්ඩ හා සේවා අපනයනය සහ FDI වැනි ණය ඇති නොකරන ගලා ඒම් වැඩි කිරීම සඳහා ධාරිතාව ගොඩනැගීම සඳහා හුස්ම ගැනීමේ අවකාශය භාවිත කිරීම අවශ්‍ය වනවා.
විදේශ මුදල් ණය සේවා ගෙවීම් සඳහා පහසුකම් සැලසීම සඳහා ණය ඇති නොකරන ගලා ඒම්වල එවැනි වැඩි වීමක් තීරණාත්මක වනවා. අපනයන වර්ධනයට සහාය වීම සහ FDI ආකර්ෂණය කරගැනීම සඳහා වෙළෙඳ ජාතික තනි කවුළුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට මෙය තවත් හේතුවක්.
FDI සම්බන්ධයෙන්, ජාතික තනි කවුළුවක් ව්‍යාපාර කිරීමේ පහසුව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකිය, විශේෂයෙන් අපනයන නැඹුරු FDI සඳහා, එය ශ්‍රී ලංකාව සොයන ආයෝජන වර්ගයයි, අතීතයේ දී, ශ්‍රී ලංකාවේ දුර්වල දේශීය ආදායම් බලමුලු ගැන්වීමේ ධාරිතාව දේශසීමා තීරුබදු මත අධික ලෙස රඳා පැවතීමට හේතු වී තිබේ.
මෙය දේශීය අංශ ගණනාවක් සඳහා ඉහළ තීරුබදු ආරක්ෂාවක් නිර්මාණය කළ අතර එමඟින් පාරිභෝගිකයන් සඳහා මිල ගණන් ඉහළ යන අතර නිෂ්පාදකයන් සඳහා අතරමැදි පිරිවැය ඉහළ යනවා. උදාහරණයක් ලෙස, ඉදිකිරීම් ද්‍රව්‍යවලට සැලකිය යුතු තීරුබදු ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි පිරිවැය ඉතා ඉහළ යයි.
මෙහි අනපේක්ෂිත ප්‍රතිවිපාකයක් වී ඇත්තේ ගෝලීය පරිමාණයෙන් අනිවාර්යයෙන්ම තරගකාරි නොවන ඉතා ආරක්ෂිත දේශීය කාර්මික අංශ වෙත හිඟ සම්පත් ගලා ඒම නිසා අපනයන විරෝධී පක්ෂග්‍රාහිත්වයක් වර්ධනය වීමයි.
ශ්‍රී ලංකාවේ දේශසීමා බදු ඉතා සංකීර්ණ, පාරාන්ධ සහ විකෘති වී ඇති අතර, ව්‍යාපාර කිරීමේ පිරිවැය වැඩි කරන සහ ආයෝජනවලට බාධා කරන සෙස් සහ PAL වැනි ඉහළ සමගාමී තීරු බදු සමඟින්.
බොහෝ විට තාර්කික පදනමක් නොමැතිව, පාලන අවදානම් ද ඇති කරන බොහෝ නිදහස් කිරීම් ද ඇත. ඉහළ දැමූ තීරුබදු සහ පැරා-තීරුබදු, බරපතළ පාලන අසාර්ථකත්වයන්ට එකතු කරමින්, ඉන්වොයිස් අඩු කිරීම වැනි දූෂිත ක්‍රියා සඳහා අමතර දිරිගැන්වීමක් ද නිර්මාණය කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය පුළුල් ආකාරයකින් සමාලෝචනය කිරීම අවශ්‍ය වනවා. නව තීරුබදු ප්‍රතිපත්තියට පාරිභෝගිකයන්, ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයන්, අපනයනකරුවන් සහ මූල්‍ය බලධාරින් ඇතුළු අනෙකුත් අයගේ අවශ්‍යතා අතර සමතුලිතතාවක් අවශ්‍ය වනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ, පෞද්ගලික අංශ මූල්‍ය ආයතනවල, විදේශීය තානාපති කාර්යාලවල, ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ මහින්ද සිරිවර්ධන මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.