Home » කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අය-වැයෙන් බිලියන 20ක්

කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අය-වැයෙන් බිලියන 20ක්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

රජය මෙවර අය-වැයෙන් රජයේ ආයෝජන ලෙස වෙන් කළ රුපියල් මිලියන 20,000ක (රු. බිලියන 20) මුදලින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීම සඳහා රුපියල් මිලියන 15,000ක් ද ඉතිරි රුපියල් මිලියන 5000 පැහැරහරින සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා සහන සැලසීමට ද යොදා ගැනීමට නියමිතය.

අක්‍රිය අංශයට මුදල් දීමේදී ඇතිවන අභියෝග පිළිබඳ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා බැංකු සංගමය එක්ව පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කාරක ප්‍රාග්ධන ආධාර නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා විකල්ප හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ ප්‍රශ්නවලට ලැබෙන විසඳුමේ කොටසක් ලෙස, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින් සමාලෝචනය කිරීමට නියමිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රුපියල් මිලියන 5,000ක අරමුදලට ප්‍රවේශ වීම සඳහා බැංකු වෙත යොමු කරනු ලැබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මඟින් සකස් කරන ලද වාර්තාකරණ සහ හඳුනා ගැනීමේ රාමුවකින් සහාය දක්වන මහ බැංකුව නිකුත් කරන මාර්ගෝපදේශවලට යටත්ව ඔවුන්ට ණය පහසුකම් ගැනීමට අවස්ථාව උදා කර ඇත.

මෙම රුපියල් බිලියන 20ක පහසුකම මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල හදිසි ආයෝජන සහ කාරක ප්‍රාග්ධන මූල්‍ය අවශ්‍යතා ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අරමුදල් කාලෝචිත ලෙස දීම සහතික කිරීමට රජය කැපවී සිටියි.

මීට අමතරව, 2025 ජනවාරි 15 දිනැති මාධ්‍ය නිවේදනයක, අමාත්‍යාංශය මඟින් තිරසරභාවය සහතික කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අතිරේක පියවර ප්‍රකාශයට පත් කරන ලදි.

එහි උපදේශක කමිටුව දැනටමත් 2025 පෙබරවාරි මාසයේදී ස්ථාපිත කර ඇත. වරලත් ගණකාධිකාරී ආයතනය මඟින් සංවර්ධනය කරන ලද ලකුණු කාඩ්පත/ශ්‍රේණිගත කිරීමේ යන්ත්‍රණය මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත ඉදිරිපත් කරන ලදි. රුපියල් මිලියන 5,000ක පහසුකමට ප්‍රවේශ වීමට සුදුසුකම් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිර්දේශ කිරීමේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මෙම ලකුණු කාඩ්පත/ශ්‍රේණිගත කිරීමේ යන්ත්‍රණය භාවිත කරනු ඇත. තිරසර ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම යන්ත්‍රණය බැංකු සමඟ ද බෙදාගනු ඇත.

මෙම පුළුල් උත්සාහයන්, නිෂ්පාදන ආර්ථිකය සමඟ පෙළගැස්වීම සඳහා සහ දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය වැඩිදියුණු කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තිරසරභාවය ඇති කිරීම සඳහා රජයේ පුළුල් උපායමාර්ගයේ කොටසක් බව ද මුදල් අමාත්‍යාංශය කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT