Home » ඉන්න ගෙයක් නැති 2281ක්

ඉන්න ගෙයක් නැති 2281ක්

වැඩිම බස්නාහිර

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

සාමාන්‍ය පදිංචි ස්ථානයක් නොමැති එළිමහනේ ජීවත්වන්නන් (හිසට වහලක් නොමැති) 2281 දෙනකු රට පුරා සිටින බව 2024 ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වී තිබේ. හිසට වහලක් නොමැති පුද්ගලයන් වන්නේ යාචකයන් සහ අහිකුණ්ඨිකයන් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා නිකුත් කළ එම සංගණන වාර්තාවට අනුව හිසට වහලක් නොමැති වැඩි දෙනකු ජීවත්වන්නේ බස්නාහිර පළාත තුළය. එම ගණන 841 දෙනෙකි. කොළඹ දිස්ත්‍රික්කය තුළ 536 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ 229 දෙනකු කළුතර දිස්ත්‍රික්කය තුළ 76 දෙනකු ලෙස බස්නාහිර පළාත තුළ හිසට වහලක් නොමැති පිරිස ජීවත් වෙති.

මෙම වාර්තාවට අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ හිසට වහලක් නොමැති කිසිවකුත් නොමැති අතර මුලතිව්හි සිටින්නේ දෙදෙනකු පමණි. මන්නාරම් දිස්ත්‍රික්කයේ සිටින්නේ 04 දෙනෙකි. මෙම දිස්ත්‍රික් අයත් වන උතුරු පළාතේ හිසට වහලක් නොමැති පුද්ගලයන් 90 දෙනකු ජීවත් වන බව සංගණන වාර්තාවේ දැක්වේ. හිසට වහලක් නොමැතිව ජීවත් වන අඩුම පිරිසක් ජීවත්වන්නේ නැඟෙනහිර පළාතේය. එම ගණන 73කි. ඒ මඩකලපුවේ 29ක්, අම්පාරේ 20ක් සහ ත්‍රිකුණාමලයේ 24ක් වශයෙනි.

බස්නාහිර පළාතට පසු හිසට වහලක් නොමැති පුද්ගලයන් වැඩි පිරිසක් ජීවත්වන්නේ දකුණු පළාතේ වන අතර එම ගණන 307කි.

වයඹ පළාතේ 248 දෙනකු ද සබරගමුව පළාතේ 217 දෙනකු ද උතුරු මැද පළාතේ 207 දෙනකු ද මධ්‍යම පළාතේ 173 දෙනකු ද, ඌව පළාතේ 125 දෙනකු ද වශයෙන් හිසට වහලක් නොමැතිව ජීවත්වන අය සිටින බව එම සංගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT