ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
වත්මන් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් එය මුල සිට සිදු නොකරන අතර, මේ දක්වා මූලික කටයුතු අවසන් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතිරි කටයුතු සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සඳහන් කර සිටියාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කටයුතු වෙනුවෙන් මෙවර අය-වැයෙන් මුදල් වෙන් කර නොමැති අතර ප්‍රමුඛතා අනුව කටයුතු කළ යුතු බවත් වත්මන් රජය දුන් පොරොන්දු ඉටු කරන බව ද අගමැතිවරිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය මෙසේ ද සඳහන් කළාය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ස්ථාවරයේ අපි සිටිනවා. අධිකරණ අමාත්‍යාංශය මඟින් මේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස උපදේශන කටයුතු සිදු කිරීමේ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීතියට කටයුතු කරන්න තමයි අපිට දැන් සිදුවෙලා තිබෙන්නේ.
මැතිවරණ පැවැත්වීමත් අපි සිදු කළා. දැන් තුන්වන මැතිවරණයත් ඉදිරි මාසය තුළදී පවත්වනවා. තවත් මැතිවරණයක් වන පළාත් සභා මැතිවරණය වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබුණු මැතිවරණයක්. ඒකත් අපි පවත්වන්න ඕනෑ. ඉන්පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ඇතුළුව මුල ඉඳන් පටන් ගත යුතු නැහැ. දැනට කරලා තිබෙන වැඩ ප්‍රමාණය මත එතනින් ඉදිරියට වැඩ කටයුතු කරගෙන යෑම තමයි අපේ අපේක්ෂාව. අපේ අභිප්‍රාය වන්නේ නිවැරදිව සහ මනා ලෙස සිදු කිරීම මෙන්ම නිවැරදි උපදේශනයක් අනුව කටයුතු කිරීමයි.