Home » ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත්කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවකදී ඔවුන්ට උපදෙස් දුන්නේය. මේ හමුව පෙරේදා (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් කිරීමට අදාළ යෝජනා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණයට ගතහැකි කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් පිළිබඳව ද අවධානය යොමු විය. නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද, වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයකි. එම ආයතනය පෞද්ගලිකකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යෑමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යෑමටත් තීරණය කර තිබේ.

කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහත්වරුන් ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT