අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති තීරු බදු හේතුවෙන් අපට රටේ ඇති විය හැකි ආර්ථික පිරීහීම වළක්වා ගැනීමට පැවැති රජය මේ වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට සිටි ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජය විසින් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එහි වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ.
“අමෙරිකා එක්සත් ජනපදයේ ඊනියා අන්‍යෝන්‍ය තීරු බදු සහ චීනය, අමෙරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරු බදු පැනවීම හරහා වෙළෙඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතිනවා. ගෝලීයකරණයක් සහ WTO නීති එයට සහාය දක්වමින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරනවා. වර්තමානයේ ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකාට අභියෝග කරන හෝ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. වර්තමාන ලෝක ප්‍රජාවේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමට ලක්වන්නේ අපේ රට වැනි කුඩා රටවල්. භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථිකයක් ඇති ඒ රටවල ප්‍රධාන වෙළෙඳපොළ වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.
සාකච්ඡාවලින් පසුව පවා තීරු බදු අප්‍රේල් 2 වැනි දිනට පෙර පැවති මට්ටම් කරා ආපසු එන්නේ නෑ. මෙය අපේ රටේ අපනයනවලට බාධාවක් ඇති කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත ශාලා වැසීමට සහ විශාල පරිමාණයේ රැකියාවලින් නෙරපීම් සිදු වෙනවා. එම සංඛ්‍යාව 100,000ක් පමණ විය හැකියි. ඒ හා සමාන ව පුළුල් වන වෙළෙඳ හිඟය සහ ජංගම ගිණුම් හිඟය ද ඇති කරනවා. සමස්ත බාහිර වෙළෙඳාමට බලපෑම් එල්ල වීමත් සමඟ රජයට තීරු බදු සහ සුරාබදුවලින් ඇස්තමේන්තුගත ආදායම ගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වීමට පුළුවන්. අපේ රට පමණක් නොව අසල්වැසි රටවල ද පිරිහෙන ආර්ථික තත්ත්වය හේතුවෙන් දේශපාලන කැලඹීම් ඇතිවීමේ දැඩි හැකියාවක් පවතිනවා.”