Home » කතුන්ගේ සිහින ජාතියේ උන්නතියට දායක කරගැනීමේ පරිසරයක් නිර්මාණය කරනවා

කතුන්ගේ සිහින ජාතියේ උන්නතියට දායක කරගැනීමේ පරිසරයක් නිර්මාණය කරනවා

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

by mahesh
April 10, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

කාන්තාවන්ගේ කුසලතා බාධාවකින් තොරව එළිදැක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය.

අගමැතිනිය මේ බව පැවැසුවේ IMRA පදනම විසින් සංවිධාන කරන ලද කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා (07) පැවැති “IMRA විශිෂ්ටතා සම්මාන 2025” උලෙළට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය මෙලෙස ද කීවාය.

“නීති, සෞඛ්‍ය, අධ්‍යාපනය, මාධ්‍ය සහ ව්‍යවසායකත්වය දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ නිරතව සිටින කාන්තාවන් අපේ සමාජයේ සිටින සාමාන්‍ය පිරිසක් පමණක් නොවේ. ඔවුන් එම ක්ෂේත්‍රවල අනාගත නිර්මාණකරුවන්. අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල ව්‍යවසායකත්වයේ කැපී පෙනෙන නවෝත්පාදන මෙන්ම කැපවීම් අපට දකින්න පුළුවන්. සමාජයේ මුල් බැස ගත් මත හමුවේ අභියෝග නොතකා මේ කාන්තාවන් ඔවුන් තෝරාගත් වෘත්තීන් තුළ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගෙන අපගේ ජාතියේ වැදගත් බලවේගයක් බවට පත්ව තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පැවතීම, අන්තර්ජාලය ඔස්සේ සිදු වන අපයෝජනය, දේශපාලන පසුබිම, තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වයේ අඩු අනුපාතයක් පැවතීම, දේශපාලන මෙන්ම වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක කාන්තාවන්ට එරෙහිව සිදුවන මඩ ප්‍රහාර ආදී කරුණු සැලකිල්ලට ගත් විට මෙය පැහැදිලි වෙනවා. මෙය යම්කිසි ප්‍රජාවකට සීමා වූ ගැටලුවක් නොවේ, ඊට එහා ගිය සමාජ ගැටලුවක් ලෙස හඳුනා ගැනීම වැදගත් වෙනවා. අපි ඉදිරියට යන මේ ගමනේ සෑම කාන්තාවකටම ඇගේ සිහින හඹා යෑමට මෙන්ම බාධක බිඳ දමා ජාතියේ උන්නතිය උදෙසා දායක වීමට හැකි පරිසරයක් ලබා දීමට කටයුතු කළ යුතුයි.”

මෙහිදී අගමැතිනි අතින් IMRA විශිෂ්ටතා සම්මාන නීති සහ උපදේශනය – ශායිඩා බැරී, කලා සහ සංස්කෘතිය – අමීනා හුසේන්, ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනය – රමෝලා රසූල්, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව – මහාචාර්ය ෆසීහා නූර්දීන්, ගෘහ නිර්මාණ ශිල්පය – ෂෙහෙලා ලතීෆ්, මාධ්‍ය සහ සන්නිවේදනය – ශ්‍යාමා අකූබ් සහ IMRA නැඟී එන තරුව සම්මානය – හම්නා කිසාර්, ක්‍රීඩා සඳහා – සාජිදා රසික්, අධ්‍යාපනය සඳහා – රිස්කා නවුෂාඩ්, ජීවිත කාලීන ජයග්‍රහණ සම්මාන සැන්ඩ්‍රා වඳුරගල, ශිවානන්දිනී දුරෛස්වාමි, සුනේලා ජයවර්ධන සහ අන්බෙරියා හනීෆා මහත්මීහු සම්මාන ලබා ගත්හ.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, හිටපු ඇමැතිනී ෆෙරියල් අෂ්රාෆ් මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT