අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් ඉකුත් 07 වැනිදා දවස පුරා අකුරැස්ස නගරය සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර හා ආහාර පිළියෙල කළ ස්ථාන 73ක් වැටලීමට පියවර ගැනුණි. විශේෂයෙන් සිංහල දෙමළ අවුරුදු උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවි කිරීම් බහුලව සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ හේතුවෙන් මෙම වැටලීම සිදු කර ඇත.
පරීක්ෂා කරන ලද වෙළෙඳසල් සහ හෝටල් යන ස්ථාන 32ක තිබූ සහල්, බිත්තර, කඩල ඇතුළු ධාන්‍ය වර්ග, පැණි රස ආහාර, පොප්කෝන්, බිස්කට් වර්ග, සැමන් ටින්, පිසන ලද අර්තාපල්, මස් සහ වටලප්පන් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් එම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන එම ස්ථාන භාරකරුවන්ට එරෙහිව1980 අංක 26 දරන ආහාර පනතට අනුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට කටයුතු කර ඇත. අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.එම්.ජී. ඩයස් මහතාගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් කිහිපයක්ම මෙම විශේෂ වැටලීම සම්බන්ධව කටයුතු කළේය.