Home » මේ ඡන්දෙදිත් ආණ්ඩුව පහසුවෙන් දිනනවා

මේ ඡන්දෙදිත් ආණ්ඩුව පහසුවෙන් දිනනවා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - මහාචාර්ය ආශු මාරසිංහ

by mahesh
April 10, 2025 1:02 am 0 comment

උදිත ගුණවර්ධන

කාලීන දේශපාලන වාතාවරණය සහ විපක්ෂයේ පක්ෂ, වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරයි ද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

– ආණ්ඩුව කල්පනාකාරීව ආර්ථික අර්බුදය තේරුම් ගෙන තිබෙනවා 
– ඇතැමුන් තමන්ගේ දේශපාලන වළ තමන්ම කපා ගත්තා
– පටු විදිහට නොසිතා රටේ දියුණුවට එකතුවන්න 

ඔබ කලක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය සමඟ යම් ආරෝවක් ඇතිව ද දැන් කටයුතු කරන්නේ ?

‘කිසිම ආරෝවක් හෝ තරහක් නැහැ. ඒත්, එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව මගේ දේශපාලන දැනුම අනුව මට තෘප්තිමත් වෙන්න බැහැ. අද සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉතාමත් මෝඩ විදිහටයි තමන්ගේ දේශපාලනය සිදු කරමින් සිටින්නේ. විපක්ෂය විදිහට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දේශපාලන යථාර්ථය තේරුම් ගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා තමයි ඔවුන් ඡන්දයේ මුල සිටම බෙදී තරග කිරීමට උත්සාහ කළේ. අපි දෙගොල්ලන්ටම මේ අවස්ථාවේ ලොකු ජයග්‍රහණයක් ලබා ගැනීමට පුළුවන්කමක් නැහැ. ඒත්, අපි එකතු වෙලා තරග කළා නම් ජාමේ බේරා ගැනීමට පුළුවන් තරමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව තිබුණා. දැන් එහෙත් එජාපය සහ සජබ මෝඩ විදිහට දේශපාලනය තේරුම් ගැනීම නිසා අපට යළිත් උරුම වෙන්නේ පරාජය පමණයි. ආණ්ඩුව ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණය ද ජයග්‍රහණය කළා. මහමැතිවරණයේදී තුනෙන් දෙක ද ඉක්මවා යන මහා ජයග්‍රහණයක් ලැබුවා. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණයේදීත් ආණ්ඩුවට පහසු ජයග්‍රහණයක් ලබන ලකුණු පහළ වෙලා තිබෙන්නේ.

අනෙක තුනෙන් දෙකක් ලබා ගත් ආණ්ඩුවකට ප්‍රාදේශීය සභා බලය ලබා නොදීම නොකළ යුත්තක්. සාමාන්‍ය ජනතාව වුණත් මේ අවස්ථාවේදී ආණ්ඩුව වෙතයි නැඹුරු වෙන්නේ. ඒ ඇත්ත යථාර්ථය තේරුම් අරගෙන අප වැඩ කළ යුතුයි.

පසුගිය කාලයේදී සජබ සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමට සාකච්ඡා කළා. ඒ සාකච්ඡා අසාර්ථක වීමට හේතු මොනවාද ?

‘මූලිකව සාකච්ඡා කිරීම පමණක් වැඩක් නැහැ. සාකච්ඡාවලට නිසි අරමුණක් අවංකභාවයක් තිබෙන්න ඕනෑ. ඒත්, ඒ අවංකභාවය දෙපැත්තෙම තිබුණේ නැහැ. ඒ විදිහට අවංකව වැඩ කළා නම්, පොදු ලකුණකින් හෝ තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව තබාගෙන මැතිවරණය තුළ තමන්ගේ දේශපාලනය සාර්ථක කර ගැනීමට හැකියාව තිබුණා. ඒ නිසා තමන්ගේ දේශපාලන වළ තමන් විසින්ම කපා ගැනීමක් විදිහට මේ පක්ෂවල හැසිරීම හඳුන්වා දෙන්න පුළුවන්. විපක්ෂය විදිහට සිටින එක්සත් ජාතික පක්ෂ‍ෙය් සහ සමගි ජන බලවේගයේ පහළ පාක්ෂිකයන්ට ඇත්ත තේරුණත් පක්ෂයේ ඉහළ සිටින පිරිස්වලට ඒ ගැන කිසිදු අවබෝධයක් නැහැ.

අවබෝධයක් තිබුණත් කළ යුතු දේ කරන්න ඒ අය පසුබට වෙනවා. සමහර විට ජනාධිපතිවරණයේදී එජාපය සහ සමගියේ පිරිස් යම් ඒකාබද්ධතාවකට ආවානම් ජනාධිපතිවරණය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා.’

ආණ්ඩුවට ආණ්ඩුවේ වැඩ ටික කරගෙන යාමට අවස්ථාව ලබා දියයුතු බවට ඔබ සමාජ මාධ්‍ය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළා. ඔබ ඒ ආකාරයේ අදහසක් පළ කළේ ඇයි ?

‘ජනාධිපතිවරයාට රටේ බහුතර පිරිසක් ඡන්දය ලබා දුන්නේ යම්කිසි අපේක්ෂාවකින්. පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළා. ජනතාව දේශපාලනය තුළ අලුත් කණ්ඩායමකට බලය ලබා දුන්නේ රටට වෙනසක් අවශ්‍ය නිසයි. ඒ වගේ තත්ත්වයක් තුළ තමයි මාලිමා ආණ්ඩුව ජයග්‍රහණය කළේ. එහිදී අප එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය ලබා දුන්නා, ඔහු ජයග්‍රහණය කරවන්න උත්සාහ කළා. ඒත්, අපේ උත්සාහය ජනතාව පිළිගත්තේ නැහැ. අපේ ප්‍රතිපත්ති පිළිනොගැනීම ගැන අප කනගාටු වීම හෝ ජයගත් පිරිස කෙරෙහි වෛර කිරීම නොවෙයි කළ යුත්තේ. රටේ අලුත් ආණ්ඩුවට වැඩ කරන්න කාලයක් තිබිය යුතුයි. ජනතාව අපේ ප්‍රතිපත්ති පිළිගත්තේ නැහැ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිගත්තා. ඒ නිසා අප යථාර්ථය පිළිඅරගන්න ඕනෑ.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල, ආණ්ඩුවක් බලයට පත්වුණාම ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරන්නෙවත් දෙස්දෙවොල් තියන්නෙවත් නැහැ. අපේ රටේ තත්ත්වය එයට වඩා බොහෝ වෙනස්. ආණ්ඩුවක් බලයට ආපු දවසේ සිටම උත්සාහ කරන්නේ කකුලෙන් අදින්න. ඒක රටක දියුණුවට හේතුවක් නොවෙයි. සිදු කළ යුත්තේ බලයට පැමිණි ආණ්ඩුවට වැඩ කරගෙන යාමට යම් කාලයක් ලබා දීම සහ ඔවුන් අතින් වරදක් සිදුවෙනවා නම් ඒ වරද පෙන්වා දීමයි.

එහෙම නැතිව එන එන ජනාධිපතිවරයාට විරුද්ධව අරගල කරමින් සිටීමෙන් රටට සිදුවන යහපතක් නැහැ. උදාහරණයකට ඉන්දියාව ගනිමු. ඔවුන් මැතිවරණ කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණ සටනේ නියැළෙනවා. මැතිවරණයෙන් පසු අවුරුදු පහක් රට වෙනුවෙන් එකතු වෙලා වැඩ කරනවා. අපේ රටෙත් ඇතිවෙන්න ඕනෑ ඒ විදිහේ දේශපාලන සංස්කෘතියක්.’

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට රතු එළියක් දී ආණ්ඩුවට තද බලපෑමක් කරන්න ඕන කියලා විපක්ෂය සඳහන් කරනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද ?

‘ජනාධිපති බලය වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් තිබෙන්නේ ආණ්ඩුවටයි. ඒ තත්ත්වය තුළ ආණ්ඩුව රට තුළ ඉතාමත් ශක්තිමත් තත්ත්වයකයි සිටින්නේ. 1977 ජයවර්ධන ආණ්ඩුවෙන් පසු මෙරට බිහිවූ ශක්තිමත්ම පාර්ලිමේන්තු බලය තිබෙන්නේ මේ ආණ්ඩුවටයි. ඒ තත්ත්වය තුළ ප්‍රාදේශීය සභාවකින් ආණ්ඩුවට කරන්න පුළුවන් බලපෑමක් නැහැ.

ඒ ඇත්ත තත්ත්වය මිනිස්සු දන්නවා. ඒ නිසා තමයි ආණ්ඩුවක් බලයට පැමිණි පසු ඒ ආණ්ඩුව පාර්ශ්වයටම පළාත් පාලන මැතිවරණ බලයත් ලබා දෙන්නේ. අනෙක පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්වෙලා කෙටි කාලයක් තුළ පවත්වන මේ මැතිවරණයේදී රටේ වැඩිම ප්‍රාදේශීය සභා , නගර සභා, සහ මහනගර සභා බහුතර ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් විසිනුයි. මගේ පක්ෂය මෙන්ම මගේ දේශපාලන මතය ද එය නොවෙයි. එහෙත් රටේ දේශපාලන යථාර්ථය කියන්න අප පසුබටවෙන්න ඕනෑ නැහැ. ඉදිරි පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලවලින් ආණ්ඩුව බහුතර ආයතන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට ලොකු ඉඩක් තිබෙනවා. ඒ අතර විපක්ෂයට තමන් ගත් වැරදි උපායමාර්ගික තීන්දු පිළිබඳව නැවත සලකා බැලීමට ද ඉදිරියේදී සිදු වේවි.

වර්තමාන ආණ්ඩුව ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන ඔබ හිතන්නේ කුමක්ද?

‘2022 වෙද්දී රටේ ආර්ථිකය සෘණ තත්ත්වයකට වැටිලා දෛනික ජන ජීවිතය පවා ගතකරන්න බැරි තත්ත්වයකුයි තිබුණේ. ඒ අවස්ථාවේදී තමයි, රනිල් වික්‍රමසිංහ මහතා මුලින් අගමැති ධුරය සහ පසුව ජනාධිපති ධුරයට පත්වුණේ. ඔහුට හැකියාව ලැබුණා 2024 සැප්තැම්බර් මාසය වනවිට රනිල් වික්‍රමසිංහ මහතා රට යම් ස්ථාවර තැනකට පත්කළා. ඔහු ගත් ක්‍රියාමාර්ගය තමයි, මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය විදිහට පෙන්වා දීමට පුළුවන්කම තිබෙන්නේ. ඒ ක්‍රියාමාර්ගය මේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට අරන් යාම තමයි කළ හැකි එකම විකල්පය විදිහට හඳුන්වා දිය හැක්කේ.

දැන් කළ යුතුව තිබෙන්නේ අපේ කාලයේදී යම් අඩුපාඩුවක් වුණා නම්, ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට වැඩ කිරීමයි. මට පෙනෙන විදිහට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උඩඟු නොවීමේ ගුණය තිබෙනවා. ඔහු සියලු පාර්ශ්ව සමඟ නිරහංකාරව කටයුතු කරනවා. ඒක තමයි රාජ්‍ය නායකයකුගේ ගුණාංගය විය යුත්තේ. ඔහුට ඒ ගුණාංගය තිබුණාට ආණ්ඩුවේ සමහරුන්ට ඒ ගුණාංගය තිබෙන්නේ අඩුවෙන්. ඒ අඩුපාඩුත් හදාගෙන තමයි ආණ්ඩුව ඉදිරියට යා යුත්තේ.

දැනට තිබෙන තත්ත්වය අනුව අපේ රටට 2018 වර්ෂ‍ෙය් දී මෙරට ආර්ථිකය තිබුණු තත්ත්වයට පැමිණීමට තව වසරක් හෝ දෙකක් යන බව සඳහන් වෙනවා. ඒ නිසා අපේ රටට පුළුවන්කම ලැබේවි යළිත් ආර්ථික වශයෙන් ස්ථාවර වීමට. ඒ සඳහා ආණ්ඩුව පටු විදිහට නොසිතා කල්පනාකාරී ගමනක් යා යුතුයි. දැනට අපට පෙනෙන විදිහට නම් ආණ්ඩුව කල්පනාකාරීව ආර්ථික අර්බුදය තේරුම් අරගෙන කටයුතු කරන බවක් පෙනෙනවා.’

දේශපාලනය තුළ දීර්ඝ කාලයක් කටයුතු කළ ඔබ” පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ජනාධිපති උපදේශකවරයකු ලෙසත් කටයුතු කළා. රටේ දේශපාලන වෙනස්කම් සමඟ ඔබේ දේශපාලන ගමන මොන විදිහටද නිර්මාණය වෙන්නේ?

මම මුලදීම සඳහන් කළා වගේ දැන් කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුව කරනු ලබන කාර්යය පිළිබඳව නිහඩව බලාගෙන සිටීමත් ඔවුන් කරනු ලබන කාර්යය පිළිබඳව අධ්‍යයනය කිරීමක්. වැරදි පමණක් දකිමින් සියල්ල කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම මගේ දේශපාලනය නොවෙයි. යළිත් ජාතික මැතිවරණයක් එන්න අඩුම වශයෙන් තවත් අවුරුදු හතරහමාරක් තිබෙනවා.

ඒ නිසා අප දැන්ම ආණ්ඩු පෙරළන්න, දේශපාලන බලය ගන්න උත්සාහ කරනවා නම් අප සිටින්නේ වැරදි දේශපාලන උපකල්පනයකයි. මුලින්ම අප දේශපාලනය කුමක්ද කියලා තේරුම් අරගෙන වැඩ කළ යුතුව තිබෙනවා. අප මේ අවස්ථාවේදී කළ යුත්තේ රටක් විදිහට කල්පනා කර වැඩ කිරීමයි. මොකද දැන් අනුර කුමාර දිසානායක කියන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අයගේ පමණක් ජනාධිපති නොවෙයි, දැන් රටේම ජනාධිපති ඔහුයි. මගේ අනාගත දේශපාලනය කුමක්ද කියලා තීරණය කිරීමට තව කල් තිබෙනවා. ඒ තීරණය ජාතික මැතිවරණයක් ආසන්නයේදී ගන්නවා.’

ඡායාරූපය-රන්ජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT