අවුරුදු චාරිත්‍ර – වාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ චාරිත්‍රය අනෙකුත් සියලුම චාරිත්‍රවලට වඩා වැදගත්ම චාරිත්‍රය ලෙස සැලකිය හැකියි. වර්තමානයේදී ද ඇතැම් පළාත්වල තවමත් ප්‍රධාන චාරිත්‍රය හිසතෙල් ගෑමයි. හිස යනු අපේ ශරීරයේ ප්‍රධානම කොටස වීම සහ හිසට ලබාදෙන සත්කාරය හේතුවෙන් හිසතෙල් ගෑම වැදගත් කොට සැලකීම මීට හේතුව වේ. වසර පුරා හිස නීරෝගිව තබා ගැනීමට සංකේතවත් කරන්නේද මෙම චාරිත්‍රයෙනි.
අලුත් අවුරුදු සැමරුම ඉන්දියාවේ සිට පැමිණෙන්නක් බව විශ්වාස කෙරේ. එහෙත්, එසේ පැමිණි හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයන් අතර හිසතෙල් ගෑම දක්නට නොලැබේ. මේ නිසා හිසතෙල් ගෑම සිංහලයන්ට ආවේණික චාරිත්‍රයක් ලෙස හැඳින්විය හැකිය. අතීතයේදී වැඩිහිටියන්ට බුලත් දීම සහ බුලත් හුවමාරුව සිදු කර තිබෙන්නේ හිසතෙල් ගෑමෙන් පසුව බව පැවසේ. ගමේ විහාරස්ථානයේදී, විහාරාධිපති හිමිනමගේ ප්‍රධානත්වයෙන් හෝ ගමේ වෙද මහතාගේ දායකත්වයෙන් උත්සවශ්‍රීයෙන් හිසතෙල් ගෑම පැවැත්වීම සාමාන්‍ය සිරිතය.
ඇස් වෙදකම, සර්ප වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම ලෙස වෙන් වෙන්ව අතීතයේදී සිංහල වෙදකම පැවැතී තිබේ. සිංහල බෞද්ධයන් ඈත ඉතිහාසයේ සිටම සෞඛ්‍යයට වැඩි සැලකිල්ලක් දැක් වූ බව රොබට් නොක්ස්ගේ සටහන් පොත්වල ද දක්වා තිබේ. මේ චාරිත්‍රයේදී හිසේ ගැල්වීමට භාවිත කරන නානු යනු සිංහල වෙදකමේ වට්ටෝරුවකට සකස් කරන්නකි. ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය ක්‍රම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පැවැතියේ සිංහල වෙදකමයි. ඉන්දියාවේ සිට ආයුර්වේදය පැමිණීමෙන් පසු සිංහල වෙදකම සහ ආයුර්වේදය වෙන්කිරීමට නොහැකි ලෙස මිශ්‍ර වී තිබේ. හිසේ ඇති වන රෝග වළක්වා ගැනීමට තෙල් ගැල්වීම විශේෂයෙන් සිදු කෙරේ. හින්දු චාරිත්‍රවලදී නානු වර්ග භාවිත නොකළත් තෙල් ගැල්වීම අදටත් සිදු කරයි. අකලට හිසකෙස් පැසීම, කෙස් හැළීම තෙල් ගැල්වීමෙන් වළක්වාගත හැකි බව පැරැණි ග්‍රන්ථවල සඳහන්ය. ඇස් පෙනීම, බුද්ධි වර්ධනය සහ පැහැපත් සමක් ඇති වීමට වසර පුරාම තෙල් ගැල්වීම වැදගත් බවද ඒවායේ සඳහන් කර තිබේ.
මේ නිසා තෙල් ගැල්වීම හිසට අවශ්‍යතාව වසරක් පාසා අලුත් කරන්නට හිසතෙල් ගෑම චාරිත්‍රය මඟින් සිදුවන බව සැලැකේ. කලාඳුරු අල, කුම්කුමප්පු, සුදුහඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගොරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තළා අලුත් මුට්ටියක දමා තම්බා පත අට එකට සිඳවනු ලැබේ. ඉන්පසු කොහොඹ පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගත් පසුව ලැබෙන දියරය නානුය. මෙසේ නැකැතට කලින් දින සාදා ගන්නා නානු මුට්ටිය පිරිත් කියා නානු පේ කර ගත් නානු ද, තෙල් ද එනම් තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් සහ එඬරුතෙල් යන පස් තෙල් ද ගල්වනු ලැබේ. නානු ඉතාම ඖෂධීය ගුණයෙන් යුක්ත යැයි සිංහල වෙදකමේ සඳහන් වේ. ශරීරය තුළ පිත නිසියාකාරව පවත්වාගෙන යාමට නානු වැදගත් වේ.
මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16 වැනි බදාදා පෙරවරු 9.04ට යෙදේ. කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ කොළ පත්‍ර ද, පයට කොළොන් පත්‍ර ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.
ඉරෝෂා දීපානි