Home » ගම්මැද්දේ අවුරුද්දේ රස වෑහෙන කැවිලි

ගම්මැද්දේ අවුරුද්දේ රස වෑහෙන කැවිලි

by mahesh
April 10, 2025 1:00 am 0 comment

සිංහල අලුත් අවුරුද්ද, සිංහලයන් මෙන්ම හින්දු භක්තිකයන් ද ඉතා උනන්දුවෙන් සමරන්නාවූ උත්සවයකි. මේ අලුත් අවුරුදු සමයේදී සිංහල සංස්කෘතිය හා බැඳුණු ආහාර සංස්කෘතිය යනුවෙන් කළ නොහැකි දෙයකි. අපේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියෙන් අපේ අනන්‍යතාව පිළිබිඹු කරයි. එය අපගේ මුතුන් මිත්තන්ගේ උරුමය හා බැඳුණු සංකේතයක් ද වෙයි. අලුත් සහල් පිස ආශීර්වාද ලබා ගැනීම මෙම සංස්කෘතික උත්සවයේදී කැපී පෙනෙන සිරිතකි. අලුත් අවුරුදු සමයේ පිළියෙල කරන රස කැවිලි බොහොමයක් සහල් පිටි, හකුරු, තෙල්, පොල් හා තල් සමඟ සම්බන්ධය.

සාම්ප්‍රදායික රස කැවිලි හා ඒවායේ වැදගත්කම සලකා බැලුවහොත් මුලින්ම කිරිබත් යනු අලුත් අවුරුදු සමයේ ප්‍රධානතම ආහාරයයි. කිරිබත බොහෝ නිවෙස්වල උදෑසන පිළියෙල කරන පළමු ආහාරයයි. සහල් හා පොල්කිරි එකතු කර සාදන මෙම ආහාරය සෞභාග්‍යය හා සමෘද්ධිය සංකේතවත් කරයි. කිරිබත් සමඟ ලුණු මිරිස්, සීනි, හකුරු හෝ සම්බල ආදිය ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. කොකිස් හා කැවුම් ද බොහෝ නිවෙස්වල දැකිය හැකි ප්‍රසිද්ධ රස කැවිලි දෙකකි. කොකිස් සහල් පිටි, පොල්කිරි හා සීනිවලින් සාදන්නකි. රන්වන් පැහැයෙන් යුත් කැවුම් හඳුන්වන්නේ සිංහල ඩෝනට් ලෙසයි. ආස්මි, අලුවා හා අග්ගලා යනු තවත් ප්‍රසිද්ධ රස කැවිලි වර්ග තුනකි. මෙහි පොල්, සීනි හෝ හකුරුවලින් සාදන අලුවා හා සහල් පිටි, හකුරු හා පොල්වලින් සාදන අග්ගලා බොහෝ නිවෙස්වල සිරිතක් ලෙස සාදයි. මුං කැවුම් හා වැලිතලප ගත් කල මුං ඇට පරිප්පුවලින් සකස් කරන මුං කැවුම් හා වැලිතලප ද සිංහල අලුත් අවුරුදු සමයේ ප්‍රචලිත රස කැවිලි දෙකකි. වැලිතලප සාදන්නේ සහල් පිටි පොල් හා හකුරු පැණි යොදා ගනිමිනි.

මෙලෙස මෙම රස කැවිලි සෞඛ්‍යය පිළිබඳ සැලකීමේදී බොහොමයක් අපේ සෞඛ්‍යයට ගුණදායක ද්‍රව්‍යවලින් තනන ලද ඒවාය. ඒවා අධික සීනි හා තෙල් යොදා සාදන නිසා පරිස්සමින් ආහාරයට ගත යුතුය. මෙලෙස සාම්ප්‍රදායික රස කැවිලි සමඟම, වර්තමානය වනවිට නූතන කාලයේ නවීන දේශීය හා විදේශීය රස කැවිලි ද බොහෝ නිවෙස්වල දැකිය හැකිය. ඇතැම් පවුල් නූඩ්ල්ස්, සැන්ඩ්විච් හා පිට්සා ආදිය සමඟින් සාම්ප්‍රදායික රස කැවිලි පිළියෙල කරන්නට උත්සාහ කරති.

සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ නොනගතය ගෙවී ලිප ගිනි මොලවා ආහාර පිළියෙල කිරීමේ සුබ නැකත උදා වෙයි. එහිදී කිරි උතුරා ආහාර පිළියෙල කිරීමේ කාර්යයට වැදගත් තැනක් හිමි වෙයි. ආහාර පිසීමේ කාර්යයේදී ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් පවතියි. ඇතැම් ප්‍රදේශවල “හත් මාලුව” ලෙසට ආහාරයක් පිළියෙල කරනු ලබයි. පළමු ආහාර අනුභවයේදී මෙම හත් මාලුව සමඟ බතක් පිසගෙන ආහාර එක්කර ගනී. එහිදී නොඉඳුල් ලෙස සකස් කරන හත් මාලුවට එක් කරන අනෙකුත් එළවළු ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. උදා: බළන්ගොඩ ප්‍රදේශයේ හත් මාලුව සඳහා කොස් ඇට, පරිප්පු, බෝංචි හෝ මෑ, වට්ටක්කා දළු, අළුකෙසෙල්, තලන බටු, අල වර්ගයක් යොදා ගනු ලබයි. මෙලෙස කාලාන්තරයක් මුළුල්ලේ පැවත එන මෙවැනි ආහාර රටා මඟින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා වෙමින් ඉදිරියට එයි. එලෙසම ඇතැම් ප්‍රදේශවල හත් මාලුව යන්න යොදා නොගනිමින් සාම්ප්‍රදායික ලෙස කිරිබතක් පිසගනු ලබයි.

සිංහල අලුත් අවුරුදු ආහාර බොහොමයක් කාලයාගේ ඇවෑමෙන් නොයෙක් විපර්යාසවලට බඳුන් වෙමින් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යයි. අලුත් අවුරුදු කාලයට තැනෙන, රස කැවිලි සේම ඥාති, හිතමිත්‍ර සබඳතාද වර්ධනය වේ.

නිසංසලා කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT