ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලුවහොත් අලුත් අවුරුද්ද ක්‍රි.පූ. තුන්වැනි සියවස දක්වා අතීතයට යනවා. එක් එක් යුගවල අවශ්‍යතාවන්ට අනුව සංස්කෘතික කරුණු වෙනස්වී ඇති බව දකින්න පුළුවන්. අලුත් අවුරුද්ද කෘෂිකාර්මික සමාජයක වැදගත් සංස්කෘතික අංගයක්. ඒකට අයිති වන යම් යම් අභිචාර විධි තිබෙනවා. ඒ වට හැඩගැසී ක්‍රියාවට නැඟීම මඟින් දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගන්නවා. ඒ වගේම ස්වාභාවික පරිසරය සහ විශ්වයේ සිදුවන ඇතැම් සමාජ සංසිද්ධීන් අලුත් අවුරුද්ද හා සම්බන්ධ වෙනවා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනවා. ග්‍රහවස්තූන් සමඟ සම්බන්ධ වෙනවා. මේ නිසා ජ්‍යොතිෂ්‍ය හා අලුත් අවුරුද්දත් බද්ධ වෙනවා.
ගොවිතැන් කර අස්වැන්න ගෙට ගෙන අලුත් සහල් මංගල්‍යය පවත්වා, ඒ සහල්වලින් කිරිබත් උයා කිරිබත් සහ කැවුම්, රසකැවිලි අනුභව කරලා අලුත් අවුරුද්ද සමරන්නට මිනිස්සු පුරුදු පුහුණු වුණා. ඊට අමතරව රෙදිපිළි මිලදී ගැනීම, කැවුම්, කිරිබත් හදාගෙන නෑදෑ ගෙවල්වල යාම මේවත් සිදු වුණා. සමාජ විද්‍යාවේදී අපි සමාජ සබඳතා (social network theory) ගැන කතා කරනවා. නෑගම් යාම, එක් රොක්වීම තුළින් මේ සමාජ සබඳතා ජාලයේ පරායත්ත සම්බන්ධතාවන් වඩා හොඳින් උද්දීපනය වෙනවා. ඒවා තහවුරු කරගන්නා අවස්ථාවක් ලෙස අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවනි. ඒ නිසා අපේ ජීවිතවලට සංස්කෘතික අංගයක් ලෙස බැඳී තිබෙනවා.
ඒ වගේම අලුත් අවුරුද්ද සමඟ පරිසරය සමඟත් සම්බන්ධ වෙලා තිබෙනවා. අවුරුදු චාරිත්‍ර විධි ලෙස අලුත් අවුරුද්දට ස්නානය කිරීම හොඳ උදාහරණයක්. ඒ වගේම ආහාර අනුභව කරන නැකත් වෙලාවට ධාන්‍ය පොඩි පොට්ටනියක් සකස් කර වතුර බොන ළිඳට දාලා වතුර එකක් අරගෙන පොඩි මුට්ටියකට හෝ බෝතලයකට දමා නිවෙස තුළ තැන්පත් කරනවා. මේක නැවත අලුත් කරන්නේ ඊළඟ අලුත් අවුරුද්දටයි. මේකට අපි ළිඳ සමඟ ගනුදෙනු කරනවා යැයි කියනවා. මේ චාරිත්‍රය බොහෝවිට සිදු කරන්නේ නිවෙසේ ගෘහණියයි. ඒ අවස්ථාවේ ගෘහමූලික පිරිමියා විසින් තමන් දන්න ගුණ යහපත් යැයි විශ්වාස කරන පුද්ගලයකු සමඟ මුදල් ගනුදෙනුවක් කරනවා. ඒ වගේම නිවෙසේ දරුවන් පොතපතේ වැඩ කටයුතු එම නැකතේදී සිදු කරනවා. ඒ අනුව පවුලේ සාමාජිකයන්ගේ භූමිකාව අලුත් අවුරුද්දට කරනවා.
මේ නැකැත් චාරිත්‍රවලින් පසුව තවත් වැදගත් චාරිත්‍රයක් ලෙස හිසතෙල් ගෑම සැලකිය හැකියි. හිසතෙල් ගෑමේදී පෙර දිනයේදී නානු සකස් කර, රාත්‍රියේදී පිරිත් සජ්ඣායනා කරනවා. ගැමි සිරිත් විරිත් අනුව විහාරස්ථානයේදී මේ කටයුත්ත සිදු කරන්නේ ගැමියන් සියලු දෙනාගේම එක්වීමෙන්. ඒ කටයුත්තේදීත් සාමූහිකත්වය, පරායත්ත සම්බන්ධතාව හරිම වැදගත්. ඒ කටයුතු මිනිස් ජීවිතයට ආධ්‍යාත්මික තෘප්තියක් වගේම ආධ්‍යාත්මික ගනුදෙනුවක්. අවුරුදු චාරිත්‍රවල හරය වටිනාකමත් එයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කරුණාතිලක
අපි මුලින් කතා කළා වගේ සමාජයේ පරම්පරා තුනක් අතරේ පිරිස ලබපු අත්දැකීම් අනුවයි ඒ කාලේ අවුරුද්ද එහෙමයි සහ මේ කාලේ අවුරුද්ද මෙහෙමයි යනුවෙන් විග්‍රහ කරනු ලබන්නේ. මම සමාජ විද්‍යාඥයකු ලෙස එහි වරදක් දකින්නේ නැහැ. සමාජයක් හැමවෙලේම පවතින සන්දර්භය තුළ ඊට අනුකූලව හැඩගැසිය යුතුයි. එහිදී අනුවර්තනය කියන තර්කය බෙහෙවින් වැදගත්.
සමාජ විද්‍යාව අනුව සමාජයේ පවතින සංස්කෘතික අංග මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. සමාජයේ සෑම ස්තරයකම අය සම්බන්ධ වන, සෑම වැදගත් ආයතනයක්ම සම්බන්ධ වන ඕනැම පුරුද්දක්, චාරිත්‍රයක්, සංස්කෘතික අංගයක් අපි මහා සම්ප්‍රදාය යනුවෙන් හඳුන්වනු ලබනවා. එහිදී කිසිදු භේදයකින් තොරව සමාජයේ සියලු දෙනා අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍රවලට සම්බන්ධ වීමෙන් තමන් බලාපොරොත්තු වන වින්දනය, සමාජ සබඳතා තහවුරු කිරීම වැනි සියල්ලක්ම ප්‍රතිජනනාත්මක අයුරින් සමාජයේ ක්‍රියාත්මක කරනවා.
තරුණ පිරිස අලුත් අවුරුද්ද සඳහා චාරිත්‍රවලට වැඩිය අවුරුදු උත්සවයක් සඳහා සූදානම් වෙනවා. එහි ඇති වැරැද්දක් නැහැ. ඒක තරුණයන්ගේ අවශ්‍යතාවයි. වැඩිහිටියන් චාරිත්‍රවලට යොමුවෙනවා, තරුණයන් උත්සවයට සූදානම් වෙනවා.
අලුත් අවුරුද්ද සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද යැයි ලඝු කළ නොහැකි සංස්කෘතික උත්සවයක්. මේ උත්සව මුළු ආසියාවටම පොදු වූ චාරිත්‍රයක් සහ උත්සවයක්. ජපානය, චීනය, තායිලන්තය, සිංගප්පූරුව, නේපාලය, ඉන්දියාව මේ සෑම රටකම මේ අලුත් අවුරුද්ද සමරනු ලබනවා. ඒ වගේම ඒ ඒ රටවල සංස්කෘතික අංග සංවිධාන කර සමරනු ලබනවා.
කාර්යබහුල ජීවිතයට පොඩි විවේකයක් සහ සතුට වින්දනය සඳහා අලුත් අවුරුද්ද අවස්ථාවක් කරගනු ලබනවා. එවැනි දේවල් අත්‍යවශ්‍යයි. අපේ සාම්ප්‍රදායික සංස්කෘතික අංග ලෙස ගත් කළ කොහොඹ කංකාරිය, අංකෙළිය වගේ දේවල්වල ඇදහිලි සහ විශ්වාස ගැබ්වෙලා තිබෙනවා. මේ වගේ අංග වර්තමානයේදී දක්නට ලැබෙන්නේ නම් පානම වගේ සම්ප්‍රදායට තාමත් ගරු කරන සමාජවල පමණයි. මේවායේ ඇදහිලි විශ්වාස බොහොමයක් ගැබ්වෙලා තිබෙනවා. කෘෂි කර්මාන්තය සහ ඒ තුළ තිබෙන කාලයේ සංක්‍රාන්ති තත්ත්වය එක්ක ඒවා සංවිධාන වී තිබෙනවා.
කුඹුරු කරද්දී මහ කන්නයේ අස්වනු ජනවාරි පෙබරවාරි වන විට අස්වැන්න අරගෙන, මාර්තු වෙන විට අලුත් අවුරුද්දට පෙර කුඹුරු වපුරලා අවසන් කරනවා. ලැබෙන නිදහස සමඟ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ඇඳලා අවුරුදු චාරිත්‍ර බොහොම ඉහළින් සිදුකරනවා. ඒක අපේ ජන ජීවිතයට නැවුම් වූ ප්‍රබෝධයක් ගෙන එනවා.
ද්‍රවිඩ අයටත් මේක මේ විදිහමයි. ඔවුන්ගේ කෘෂිකාර්මික ජීවිතය මුල්වෙලා මේ උත්සවය සංවිධාන වී තිබෙනවා. අලුත් අවුරුද්ද බොහෝ විට යහපත් අංග රාශියක් ගොනුකරගෙන තිබෙනවා.
අවුරුද්ද වගේම අවුරුදු උත්සවයේ සුහදත්වය ආරක්ෂා කරගෙන නවීන අංගත් එක් කරගැනීමෙන් ඇතිවිය හැකි යැයි සලකනු ලබන සමාජයට යම් අගතියක් වන දේවල් අත්හැර අලුත් අවුරුදු උත්සවය ඉදිරියට ගෙන යාමට කිසිදු ගැටලුවක් නැහැ. මහ සම්ප්‍රදාය තුළ අපේ සංස්කෘතික දේවල් අනුගමනය කළ යුතුයි කියා මම විශ්වාස කරනවා.
ඉරෝෂා දීපානි