Home » උයන්වත්ත අවුරුදු පෙරහර

උයන්වත්ත අවුරුදු පෙරහර

by mahesh
April 10, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර
වත්මන් නිලමේ තරිඳු නිරෝෂන්

වත්මන් නිලමේ තරිඳු නිරෝෂන්

මාතර උයන්වත්ත වෙහෙරගම්පිට ප්‍රදේශවාසීන් සියවස් කිහිපයකට එපිට සිට පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩව පවත්වාගෙන එන සම්බුදු පෙරහර ශ්‍රී ලංකාවේ පවත්වන එකම ඓතිහාසික සිංහල අලුත් අවුරුදු පෙරහරයි. අනාදිමත් කාලයට සිට පැවැත එන සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් උයන්වත්ත වෙහෙරගම්පිට ප්‍රදේශවාසීන් මෙවරත් එම පෙරහර අප්‍රේල් 14 වැනිදා වීදි සංචාරය කිරීමට සියල්ල සංවිධාන කර තිබේ.

අලුත් අවුරුද්ද උදා වන මුල් භාගය සියලුම වැඩ කටයුතු නැකත් වේලාවන් අනුව අත්හිටුවා ආහාර පාන ගැනීමෙන් පවා වැළකී පින් දහම්වලට යොදා ගන්නා කාලය වන නොනගතය, නො එසේ නම් පුණ්‍ය කාලයට වැදගත් අරුතක් එක් කරමින් මෙම පෙරහර පැවැත්වීම උයන්වත්ත වෙහෙරගම්පිට ජනතාවගේ සිරිතක් වී තිබේ.

සියවස් කිහිපයක් ඈතට දිවයන පෙරහරේ පුරාවෘත්තය අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් මෙම පෙරහර ආරම්භ වී ඇතැයි ජනප්‍රවාදවලින් කියැවේ. එකල පැවැති සංස්කෘතික අංගවලින් සමන්විත ඉතා අලංකාරවත් පෙරහරක් පවත්වා ඇති අතර පසුව ලන්දේසීන් විසින් මුහුදුබඩ තීරය ආක්‍රමණය කිරීමෙන් ඔවුන්ගේ බෞද්ධාගම් විරෝධී වැඩපිළිවෙළ යටතේ මේ පෙරහරට ද තහංචි පනවා ඇත. පුරාවිද්‍යාඥ කඹුරුපිටියේ වනරතන නාහිමියන්ගේ ලිපියක් අනුව මේ පෙරහර වසර සත්සියයකට පමණ පෙර වීරභාහු ආදිපාද නම් ප්‍රාදේශීය රජ සමයේ පැවැති පෙරහරත් ඡායාවක් මෙන් තමන් වහන්සේගේ සිතට නැ‍ඟෙන බව සඳහන් කර ඇති අතර 1810 වසරේදී මේජර් ජන්බයේ සෙනවියා විසින් ලියන ලද ග්‍රන්ථයක ද පෙරහර ගැන සඳහන් කර තිබේ. 1788 වසර තෙක් පැවැති පෙරහර ලන්දේසීන් විසින් නතර කර ඇති බව සඳහන් කර ඇතැයි ද උන්වහන්සේ පවසයි.

ඉංග්‍රීසි පාලන සමයේ 18-19 සියවස්වලදී උයන්වත්ත වෙහෙරගම්පිට නුදුරු ගම්වලට අයත් වෙහෙරගම්පිට රජමහා විහාරයේ අධිපති ධූරය දැරූ කීර්තිමත් පඬිරුවනක් වූ කරතොට ධර්මාරාම නාහිමියන් වෙතින් උයන්වත්ත වෙහෙරගම්පිට ප්‍රදේශවාසීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව උන්වහන්සේ මැදිහත්වී එවකට උන්වහන්සේගෙන් සිංහල භාෂා ඥානය ප්‍රගුණ කරමින් සිටි සුදු ජාතික ආණ්ඩුකාර ජෝන් ඩොයිලිගෙන් පෙරහර පැවැත් වීමට අවසර ලබාගෙන ඇත. අවසර ලබාදුන් සුදු ආණ්ඩුකාරයා පෙරහරේ රැගෙන යාමට විශේෂිතව කොඩිය ද ප්‍රදානය කර ඇත. ඒ ප්‍රදානය කළ ඓහිහාසික කොඩිය අදත් පෙරහර ඉදිරියෙන්ම බෞද්ධ කොඩිය හා ජාතික කොඩියට මැදිව ගෙන යනු ලැබේ. මෙවරත් අප්‍රේල් 14 වැනි දින නොනගත කාලය තුළදී උයන්වත්ත ඓහිහාසික අලුත් අවුරුදු පෙරහර වෙහෙරගම්පිට රජමහා විහාරයෙන් ආරම්භ කෙරේ. පෙරදා තුන් තිස් පැයක් පිරිත් සජ්ක්‍ධායනා කර පේ කළ පිරිත් පැන් රැගෙන සධාතුක කරඬුව පෙරටු කොටගෙන විශේෂ මණ්ඩපයක පිරිත් සජ්ඣායනා කරමින් පෙරහරේ වැඩම කරවන මහා සංඝරත්නය පෙරහර ගමන් ගන්නා මාර්ග දෙපසින් පෙරහර නරඹන පිරිසටත් පිරිත් පැන් බෙදමින් පිරිත් පැන් ඉසිමින් ප්‍රදේශවලටත් ප්‍රදේශවාසී ජනතාවටත් සමස්ත රටට හා රට වැසියනට ලබන්නාවු නව වසරට සෙත් පැතීම මෙහි තවත් විශේෂ ලක්‍ෂණයකි.

උඩරට, පහතරට නැටුම් ගැයුම් වැයුම් මෙන්ම රුහුණට ආවේණික විවිධ සංස්කෘතික අංගයන්ගෙන් හා අලි ඇතුන් පවා පිරිවරාගත් දර්ශනීය පෙරහර වෙහෙරගම්පිට රජමහා විහාරයෙන් ආරම්භ වී වීදි සංචාරය කරමින් මාතර ඓතිහාසික බෝධිරාජායා වෙත පැමිණ ආගමික වතාවත් ඉටුකර වීදි සංචාරය කිරීමෙන් පසු නැවත වෙහෙරගම්පිට රජමහා විහාරයට ගෙවැදීමෙන් අවසන් වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT