ලෝකයේ පවතින විවිධ ජන වර්ගවලට, විවිධ ජාතීන්ට, විවිධ ආගමිකයන්ට ආවේණික විවිධාකාර සංස්කෘතීන් සහ උත්සව ආදිය තිබේ. ඒ උත්සව අතර ලෝකයේ බොහෝ රටවල අලුත් අවුරුද්ද ජනවාරි මස පළමු වැනිදා සැමරුවත්, ආසියාවේ රටවලට වසන්ත කාලය උදාවන්නේ බක් මාසයේදී ය. චීනය (යුනාන් පළාතේ දායි ජනතාව), ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල ජනයා අප්‍රේල් මාසයේ මැද දිනකදී අලුත් අවුරුද්ද සමරනු ලැබේ.
බක් මාසයේදී ශ්‍රී ලංකාවේ සිංහල සහ හින්දු ජනතාව අවුරුද්ද සමරනු ලැබේ. තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕස් අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ උගාඩි සහ සංක්‍රාන්ති අලුත් අවුරුද්ද ද අපේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමඟ සමීප සබඳතාවක් පවතී.
අවුරුදු සැමරීම අතීතයේ පටන්ම සිදු කරගෙන ආ උත්වසයකි.
විජයාගමනයේ සිට අද දක්වා පැවත එන සිංහල ජාතිය බුදු දහමද රකිනු ලැබේ. ඒ සිංහල ජාතියේ මහා සංස්කෘතික මංගල්‍ය වන්නේ බක් මස උදා වන සිංහල හින්දු අලුත් අවුරුද්දයි. අලුත් අවුරුද්දට පසුව උදා වන වෙසක් පොහෝ දින ලොව පුරා විසිරී සිටින සැදැහැති බෞද්ධයන් මහත් සැදැහැ සිතින් සම්බුදු තෙමඟුල සමරනු ලැබේ. වෙසක් පොහොය සම්පූර්ණයෙන්ම ආගමික මුහුණුවරක් ගනු ලැබේ. නමුත් අලුත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම උත්සවයක් බවට පත් වේ.
අලුත් අවුරුද්දට දුර බැහැර සිටින දරුවන් මවුපියන් බැලීමට පැමිණේ. බහුතර බටහිර රටවල දරුවන් ලොකු මහත් වූ පසුව මවුපියන්ව අමතක කළත්, සිංහල සංස්කෘතිය නිසා අවුරුද්දටවත් අම්මලාව බලන්න ගියොත් හොඳයි නේද? ලෙස සිත් ඇතුළෙන්ම වුවමනාවක් ඇති වේ.
තම තමන්ගේ නිවාස අලුත්වැඩියා කර ගනී. නිවසට අලුත් පෙනුමක් ලබා ගනී. අලුත් ඇඳුම් මිලදී ගනී. ඒ සඳහා මුදල් රැස්කරගෙන සිට යොදවයි. බිරිය ස්වාමියා දරුවන් අතරේ බැඳීම වර්ධනය වේ. සේවක සේවිකාවන්ට අතිරේක සංග්‍රහ කටයුතු කරනු ලැබේ.
අවුරුදු උදාවේ පුණ්‍ය කාලයට වෙහෙර විහාර ඇසුරු කරයි. ආගමික වත් පිළිවෙත් සිදු කරනු ලැබේ.
පරණ අමනාපකම් නැති වී එකට ජන ක්‍රීඩාදිය කරමින් සහෝදරත්වයක් ගොඩ නඟා ගනී. (බටහිර රටවල අසල්වැසියන්ව ද හඳුනන් නැති අය බොහෝ සිටී.)
ජාතියක් ලෙස එක් දිනක එක් වේලාවකට වැඩ කිරීමට කටයුතු කිරීමෙන් ජාතික හැඟීම ඇති වේ. ජාතික හැඟීම ඇති වීම රටක අනාගතයට අතිශයින්ම බලපායි. එය සියලු දෙනාගේ ආරක්ෂාවට අතිශයින්ම තීරණාත්මක සාධකයකි. ඒ ජාතික හැඟීම ඇති වීම එම ජාතියේ පැවැත්මට හොඳය. සිංහල ජාතිය බුදු දහම අඛණ්ඩව පවත්වාගෙන යන විශිෂ්ට ජාතියකි.
තරුණ තරුණියන්, විවාහකයන්, දරුවන්, වැඩිහිටියන් ආදී සමාජයේ සෑම තරාතිරමකම අය සතුටින් කටයුතු කරන සමයකි. අවුරුදු උත්සව, ජන ක්‍රීඩා සහ විවිධාකාර අංගවලින් සමන්විත උත්සව සමයේ ඒකාකාරී ජන ජීවිතය ලෞකිකව සතුටින් තබා ගන්නට කටයුතු කරයි.
බෞද්ධකම කියන්නේ නියමිත නැකැත් වේලාවකට අවුරුදු චාරිත්‍ර කළොත් නැති වන එකක් නොවේ. බෞද්ධ කිසිවකු…. මම සසර දුකින් එතෙර වීම පිණිස නව සඳ බැලීම සරණ යමි. මම සසර දුකින් එතෙර වීම පිණිස පරණ අවුරුද්ද සඳහා ස්නානය සරණ යමි. මම සසර දුකින් එතෙර වීම පිණිස අලුත් අවුරුදු උදාව සරණ යමි. මම සසර දුකින් එතෙරවීම පිණිස පුණ්‍ය කාලය සරණ යමි. මම සසර දුකින් එතෙර වීම පිණිස ආහාර පිසීම සරණ යමි. මම සසර දුකින් එතෙර වීම පිණිස හිස තෙල් ගෑම සරණ යමි. මම සසර දුකින් එතෙර වීම පිණිස රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම සරණ යමි කියා නැකැත් වේලාවල් සරණ යන්නේ නැත. එසේ සරණ ගියොත් වැරදි ය. සිංහල ජාතියයි, උපාසක උපාසිකා ජීවිතයයි පටලවා ගත යුතු නැත. උපාසක උපාසිකාවන් බොහෝ අවබෝධයෙන් කටයුතු කරන පිරිසකි.
ජාතිය සතු උත්සවයක් නවතා වෙසක් දින පින්කමක් බවට පත් කළ හැකිද? එය කිසිසේත්ම කළ නොහැකි ය. එවැනි අදහසක් සමාජයට ඉදිරිපත් කිරීමද ශාසනයට බලවත් පහරකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ භාෂා 119ක් පමණ කතා කළ විවිධ ජාතීන් සිවුවනක් පිරිසට ඇතුළත් වූවත්, භාග්‍යවතුන් වහන්සේ ඒ කිසිම ජාතියක් සතු කුල සිරිත් නවතා දමන්න යැයි උපදෙස් දුන්නේ නැත. ඒ ඒ කුලසිරිත් ද ඒ ඒ ජාතීන්ට විවිධ හේතු මත නිර්මාණය වූ ඒවා ය.
හොඳම නැකත කුමක්ද? හොඳම නැකත ත්‍රිහේතුක උත්කෘෂ්ඨ බලවත් කුසල් සිතක් ඇති කරගෙන කයින් වචනයෙන් සිතින් ඒ යහපත් කටයුතු කිරීමයි. ඉතාමත්ම හොඳ අති විශිෂ්ටතම නැකත වන්නේ මාර්ග සිතක් ඇතිකර ගන්නට අවශ්‍ය කටයුතු කර ගැනීමයි.
සිංහල ජාතිය නොනැසී පවතින්නට ආධාරක වන හේතු තිබිය යුතුය. සිංහලයා අවුරුදු සැමරීම නතර කළහොත් සිංහල ජාතිය සමගිව බොහෝ කලක් පවතින්නට ඇති ආධාරකයක් වූ තවත් බලවත් හේතුවක් අහිමි වී යයි. සිංහල ජාතියේ සමගිය වර්ධනය වන විශේෂ උත්සව තිබිය යුතු ය. මෑතක සිට අවුරුදු විරෝධී මතයක් සමාජගත වෙමින් තිබේ. සිංහල ජාතිය සහ සිවුවනක් පිරිස එකිනෙකාට වෛරක්කාරයන් කරවන්නට හදන අවුරුදු විරෝධී කතාව සම්පූර්ණයෙන්ම පරමාර්ථ ධර්ම සහ සම්මුතිය ගැන තේරුම් ගැනීමට නොහැකිව නිර්මාණය කළ මිථ්‍යා දෘෂ්ටියකි. ඕනෑම සංස්කෘතියකට ජාතියකට අයත් ජන වර්ගවලට ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය හැකි ය.
මේ ලෝකයේ කාලයෙන් කාලයට වෙනස් වී යයි. භාෂාව, ආහාරපාන, ඇඳුම් පැලඳුම්, සංස්කෘතිය ආදී කිසිවක් කිසි කලෙක නොවෙනස්ව ස්ථීරව පවතින්නේ නැත. නමුත් ඒ ඒ කාලවල ඒවා සමඟ ජීවත් වන මිනිසුන්ට කුමන තත්වයක් යටතේ වූවත් ධර්මය තේරුම් ගැනීමට බාධාවක් නැත. එයට හේතුව චතුරාර්ය සත්‍ය ධර්මය වෙනස් නොවීමයි. එය ලොව ක්‍රියාත්මක වන ආකාරය පෙන්වා දෙන සැබෑ විද්‍යාවයි.
උදා වන සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !
තපෝවනයේ රතන හිමි