Home » සැණකෙළියට පණ පොවමු

සැණකෙළියට පණ පොවමු

by mahesh
April 10, 2025 1:00 am 0 comment

අසේල කුරුළුවංශ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මල්ලිකා පින්නවල

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මල්ලිකා පින්නවල

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සංස්කෘතිකාංග හා චාරිත්‍ර සමූහයක එකතුවකි. තරගකාරී ලෝකය තුළ හැල්මේ දුවන අප මොහොතකට හෝ පවුල හා ඥාතීන් සමඟ බද්ධ කෙරෙන එකම උත්සවය අලුත් අවුරුද්ද යැයි කීම වරදක් නොවන්නේය. ජන ක්‍රීඩාවලට මූලිකත්වය දෙමින් හා කැවිලි වර්ග පවුල් අතර හුවමාරු කර ගනිමින් සහජීවනයේ පණිවුඩය අලුත් අවුරුද්ද ඔස්සේ සමාජගත විය. අලුත් අවුරුද්දේ කැවිලි බෙදා දීමේ දී සිංහල බෞද්ධ ජනතාව මෙන්ම හින්දු භක්තිකයන් ද ගමේ ඉස්ලාම් භක්තික නිවෙස අමතක නොකළහ. රාමසාන් සමයේ පල්ලියේ කැඳ කෝප්පය සිංහල නි‍ෙවසට රැගෙන එන්නට තරම් මුස්ලිම් ජාතිකයන් උනන්දු වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

දරුවන් පංච දැමීම වැනි ක්‍රීඩාවල නිරත වෙත් දී වැඩිහිටියන් ද ඒ හා සම්බන්ධ වූයේ අලුත් අවුරුදු සමය එක්තරා අන්දමකින් එකම විනෝද බිමක් කරමිනි. එහෙත් අද තත්ත්වය වෙනස් ය. බොහෝ මවුපියන් නිවෙස් තුළ තනිව ජීවත් වන්නේ දරුවන් ගමෙන් බැහැරව හෝ රටෙන් බැහැරව ජීවත් වීම නිසාය. මවුපියන් සුබ නැකතට නිවෙස්වල කිරි උතුරණු දරුවන් දකින්නේ වට්ස්ඇප් ඔස්සේ ය. ඒ තරමට පවුල විසිරී ගොසිනි. මේ නිසාම පවුල් අතර පවතින බැඳීම් ද දුරස් වෙමින් තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ විශේෂතා රැසකි. අලුත් අවුරුදු උදාව, සංක්‍රාන්ති සමය, ආහාර පිසීම, ගනුදෙනු කිරීම ආදි බොහෝ දේ සුබ නැකතට මුළු රටක් ලෙස එකම වේලාවක දී සිදු කිරීම ඉන් ප්‍රධාන ය. එදා සමාජයේ දක්නට ලැබුණු ගම්වාසීන් ගේ බැඳීම අද දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙම බැඳීම් වැඩිදියුණු කිරීම සඳහා වන මූලිකාංග සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර තුළ මෙන්ම ජන ක්‍රීඩා තුළ ද අන්තර්ගතව පැවතියේ ය. දරුවන්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට මෙන්ම මහලු අයට ද එක්විය හැකි ජන ක්‍රීඩාවලින් අවුරුදු උත්සව අලංකාර විය.

අලියට ඇස තැබීම, බනිස් කෑම, තනි කකුලෙන් සිටගෙන සිටීම, විවිධ ඇඳුම් තරගය ආදි කුඩා දරුවන්ට වෙන් වූ තරගවලින් එදා අවුරුදු උත්සව සමන්විත විය. එමෙන්ම ගම හරහා දිවීම, කොට්ට පොර වැනි ක්‍රීඩා වෙන්වූයේ තරුණයන්ටය. එක්තරා අන්දමකින් මෙම ක්‍රීඩා මඟින් තරුණ ජවය ඉස්මතු විය. මේ අතර හොඳම හිනාව, හොඳම ඇඬීම, පොල් අතු විවීම, පොල් ගෑම වැනි තරග ද ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව තරුණ, මහලු සැමට සහභාගි විය හැකි තරඟය. මෙම තරග සංවිධානය කිරීමේ දී ගමේ කිසිවකුත් අත්නොහැරෙන්නට අපේ පැරන්නෝ වගබලා ගත්හ. ගස් නැඟීමට දක්ෂ අය වෙනුවෙන් ග්‍රීස් ගසේ නැගීම වැනි තරඟ සංවිධානය වන්නේ මෙම පසුබිම යටතේ ය. ගමේ අවුරුදු කුමරිය තේරීම තරගයට තරුණියන්ගේ ඇත්තේ නොමඳ ආකර්ෂණයකි.

ගමේ වයසක කාන්තාවන් රබන් ගසා ඔවුන් ද විනෝද වෙමින් සෙස්සෝ ද සතුටට පත් කළහ. කුඩා දරුවන් ගේ මුවග රබන් පද රැව් දුන්නේ මෙම පසුබිම තුළය. අද දරුවන්ට අමුතුවෙන් පාසලේ දී රබන් පද ඉගැන්විය යුතුව ඇත. සාමුහිකත්වය ගමෙන් පලා යමින් තිබේ. මේ තුළ තරුණ තරුණියන් එකතු වී සංවිධානය කරනු ලබන උත්සව ගම් මට්ටමින් ක්‍රමයෙන් වියැකී යමින් තිබෙන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. දැන් මේ උත්සව බොහොමයක් සංවිධානය කරනු ලබන්නේ මාධ්‍ය නාලිකා මඟිනි. අවුරුදු සමයේ නි‍ෙවසට වී නළු නිළියන්ගේ අවුරුදු උත්සව බලමින් විනෝද වීම අද ග්‍රාමීය තරුණ තරුණියන්ගේ පමණක් නොව වැඩිහිටි ප්‍රජාවගේ ද කැමැත්තය. ගමක අවුරුදු උත්සවයක් සංවිධානය වන්නේ බොහෝ කලාතුරකිනි. ඒ වෙනුවෙන් කැපවීම් කරන්නට වත්මන් තරුණ කැළ අකැමැතිය. ඒ වෙනුවට ඔවුන් කරන්නේ නුවරඑළියට විනෝද චාරිකාවක් ගොස් කා බී විනෝද වීමය. මෙය එක්තරා අන්දමකින් ඛේදවාචකයකි.

දරුවන්ගේ හොඳම මිතුරා බවට පත්ව තිබෙන්නේ ජංගම දුරකතනය යි. වත්මන් යෞවන යෞවනියන්ට ජංගම දුරකතනය අත තිබේ නම්, මවුපියන් වුවද අවශ්‍ය නොවන තැනට ප්‍රශ්නය ඔඩුදුවා ඇත. අලුත් අවුරුද්ද උදා වන්නේ සූර්යයා මීන රාශියෙන්, මේෂ රාශියට ගමන් ගැනීමෙනි. අවුරුදු සමයේ අපට දීර්ඝ නිවාඩුවක් ලැබෙන්නේ කා බී විනෝද වීමට නොවන්නේ ය. ක්‍රමයෙන් වියැකී යන සංස්කෘතිකාංගවලට පණ දෙමින් අපටම ආවේණික වූ සිරිත් විරිත් මතු පරපුර වෙත ආරක්ෂා කර දීමට මේ අවුරුද්දේ අප සියලු දෙනා අධිෂ්ඨාන කර ගන්නේ නම්, අදට වඩා අපේ හෙට දවස යහපත් වනු නොඅනුමානය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT