Home » පාඩු නැති අවුරුද්දක්!

පාඩු නැති අවුරුද්දක්!

by mahesh
April 10, 2025 1:00 am 0 comment

රන්ජන් අමරරත්න

සංග්‍රහ කිරීම, ගෞරව කිරීම හා මිත්‍රත්වය පළ කිරීම අලුත් අවුරුද්දේ පරමාර්ථය වෙයි. බුලත් කොළයක එතූ කිසියම් මුදලක් ප්‍රභූ තැනැත්තකු වෙත ලබා දී ගනුදෙනු ආරම්භ කරන තැනැත්තාට එම මුදලට වැඩි මුදලක් ප්‍රභූ තැනැත්තා විසින් ප්‍රදානය කරනු ලැබේ. එය අලුත් අවුරුද්දේ ලැබෙන අලුත් ත්‍යාගයකි. නව ලාභයකි. කොටින් ම ආයෝජනයකි. අලුත් අවුරුදු උත්සවය යනු නැකැත් ශාස්ත්‍රයට ප්‍රමුඛස්ථානය ලබා දී මිනිසාගේ සාමූහිකත්වය ප්‍රදර්ශනය කරන උත්සවයකි. ඈත අතීතයේ පටන්ම සිංහල හා දෙමළ ජාතීන් උත්සවවලට වැඩි කැමැත්තක් දක්වා ඇති බව ඉතිහාසය ගවේෂණය කිරීමේදී දැකගත හැකි විශේෂ ලක්ෂණයකි. ලාංකිකයා බොහෝ ඈත කාලයක සිට අලුත් සහල් මංගල්‍යය හා අවුරුදු උත්සවය මහ ඉහළින් සමරා ඇති බව ඓතිහාසික මූලාශ්‍රවලින් පෙනී යයි. අලුත් සහල් මංගල්‍යය හැමටම රජුගේ ප්‍රධානත්වයෙන් පැවැති බවට සාක්ෂ්‍ය තිබේ.

අපේ උත්සවවලට හේතු – සාධක වූ ප්‍රධාන කාරණා දෙකක් ඇති බව පෙනී යයි. 

(I) ආගමික පසුබිම ඔස්සේ සදාචාරය වර්ධනය කිරීම. මෙහිදී අයහපත් ක්‍රියා ඉවත් කරන අතර, යහපත් ක්‍රියා අනුමතකොට ඒවා ශක්තිමත් කරනු ලැබේ.

(II) මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස සාමූහික ක්‍රියාවලට යොමු කරනු ලැබේ. කෙළි – සෙල්ලම් කෘෂිකාර්මික වැඩ ඇල්ලීම් ආදිය ඔස්සේ සාමූහිකත්වය හා එකට වැඩ කිරීම අභිවර්ධනය කරනු ලැබේ. එය සශ්‍රීකත්වයේ ද,සංකේතයක් ලෙස පවතී.

අලුත් අවුරුද්ද ඉහත කරුණු දෙකම පාදක කරගෙන සමරනු ලැබේ. ඇරිස්ටෝටල් නම් පඬිවරයා පෙන්වා දෙන අන්දමට මානවයා නිත්‍ය ලෙසම සමාජයීය සත්ත්වයෙකි. ඔහුට සමාජයෙන් තොරව ජීවත් විය නොහැකිය. බටහිරට වඩා පෙරදිගට එය වඩාත් ගළපාගත හැකිය. ඉන්දියාව – ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් ඊට සාක්ෂ්‍ය සපයන කදිම රාජ්‍ය ලෙස පවතී. අලුත් අවුරුද්දේ ප්‍රධාන තැනක් නැකතට ලැබෙන බව මීට ඉහත දී ද සඳහන් කළෙමු. පහත සඳහන් ජනකවිය ඈත අතීතයේ සිටම අපේ ජන සංස්කෘතිය තුළ පැවතී තිබේ.

“අහස උපන්නේ අස්විද නැකතින් නොවෙදෝ

පොළොව උපන්නේ පුවපල් නැකතින් නොවෙදෝ

මුහුද උපන්නේ මුවසිරි නැකතින් නොවෙදෝ

සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙදෝ

ජනකවියා, ජනතාවට අයත් කවිය සමාරම්භ වූයේ කෙසේදැ’යි ගවේෂණයක යෙදෙන’මුත් ඉන් ගම්‍යමාන වන්නේ අපේ සමාජය හැම විටම පාහේ නැකත පාදක කොට සිය ජීවන කටයුතු මෙහෙයවාගෙන ඇති බවය. අවුරුදු උත්සවයෙන් කෙරෙන්නේ ද නැකත පිළිබඳ සංදකල්පය නැවත – නැවත සිහිපත් කරමින් එහි යෙදීමය. නැතහොත් නැකත තවදුරටත් ජීවිතයට බද්ධ කරගැනීමය. නැකත යන්නෙහි අර්ථ ගණනාවක් පවතී.

(I) සුදුසුම අවස්ථාවේ දී යමක් ආරම්භ කිරීම හෝ යමක් අත්හැරීම හෝ සිදු කිරීම

(II) විශ්ව ශක්තිය ඔස්සේ සියලු කටයුතු සාර්ථක කරගැනීම හා අධිෂ්ඨානයක් ඇති කර ගැනීම

(III) ආශීර්වාද කරගැනීම හා සශ්‍රීකත්වය අපේක්ෂා කිරීම

(IV) සාමූහිකත්වය ඔස්සේ විශ්වාසය ආරක්ෂාව හා තවත් යහපත් දේවල් අපේක්ෂා කිරීම

අලුත් අවුරුදු කාලය උදාවෙත්ම කුටුම්බයේ නායකයා හෙවත් ගෘහ මූලිකයා ප්‍රධාන කටයුතු දෙකක් සිදු කරයි.

(I) නිවෙස ඉදිරිපිට අලුත් මල් යහනක් සකස් කොට ඉෂ්ට දෙවියන් නැමදීම හා ආශීර්වාද ලබාගැනීම

(II) පන්සල වෙතින් හෝ නැකැත් රාල වෙතින් හෝ නැකැත් සීට්ටුව ලබාගැනීම

පන්සලට අවුරුදු උත්සවයේ ප්‍රධාන තැනක් ලැබේ. හිසතෙල් ගෑම සඳහා හිසතෙල් නානු සකස් කිරීම, අවුරුදු චාරිත්‍ර සඳහා නැකැත් පිළිවෙළ හෙවත් නැකැත් සීට්ටුව සකස් කිරීම, ජ්‍යොතිර් ශාස්ත්‍රයට අනුව පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ඉටු කරනු ලැබේ. පන්සල් නොමැති අවස්ථාවක නැකැත් රාල එය ඉටු කරයි. හැම ගමකටම නැකැත් රාලලා නැත.

අලුත් අවුරුද්දේ විශේෂත්වයක් වන්නේ, හිස් අතින් කිසිදු ස්ථානයක කිසිවකු හමුවට නොයෑමය. ත්‍යාග හෙවත් දැකුම් රැගෙන යෑම සිරිත වේ. ත්‍යාග හෙවත් දැකුම් යනු භව – භෝග සම්පත්ය. නැතහොත් කැවිලි – පෙවිලි ය. පන්සලට යතත්; කැවිලි – පෙවිලි රැගෙන යෑම සිරිත වේ. හිස් අතින් පන්සලට යෑම වුව අවුරුදු චාරිත්‍රවලට පටහැණි බව කියනු ලැබේ. නැකැත් සීට්ටුවේ සඳහන් වන විශේෂ කරුණු කෙරෙහි ඊළඟට අවධානය යොමු කිරීම වැදගත්ය.

(I) පරණ අවුරුද්දට ස්නානය කිරීම

(II) වැඩ අත්හැරීම

(III) නොනගතයේ ආරම්භය

(IV) අලුත් අවුරුදු උදාව

(V) ළිප ගිනි මෙළවීම, කිරි ඉතිරවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, නැකතට ආහාර අනුභවය

(VI) හිස තෙල් ගෑම – නැකතට ස්නානය හා නෑදෑයන්ට සංග්‍රහ කිරීම

(VII) රැකී රක්ෂා සඳහා නැකතට පිටත්වීම

(VIII) නව සඳ බැලීම

සංග්‍රහ කිරීම, පරණ කෝන්තර නැවැත්වීම, මිත්‍රත්වය හා සහයෝගය පළ කිරීම, සාමූහික ලෙස නැවත ගම්වල කටයුතු ආරම්භ කිරීම, අලුත් අවුරුද්දේ අභිලාසය වෙයි. අවුරුදු උත්සවයෙන් පසු නැවුම් හෙවත් අලුත් මිනිසෙක් මුණගැසෙයි. එකිනෙකාට ගෞරව කිරීම, මිත්‍රත්වය පළ කිරීම, සංග්‍රහ කටයුතු හා කාර්යක්ෂමතාව සෑම අවස්ථාවකින් ම අපේක්ෂා කෙරේ.

ගනුදෙනු කිරීම නම් චාරිත්‍රය මීට කදිම නිදසුනකි. එහි අර්ථ කිහිපයක් තිබේ.

(I) එකිනෙකාට ගෞරව කිරීම – ගනුදෙනු කිරීම සඳහා බුලත් කොළයක ඔතන ලද මුදලක් භාවිත කරයි. බුලත් යනු දෙවියන් උදෙසා පුදනු ලබන ගෞරවනීය ශාක පත්‍රයකි. එය භාවිත කිරීමෙන් ගනුදෙනුවට ගෞරවයක් ලබා දෙයි.

(II) ලාභය හා තෘප්තිය :- ගනුදෙනුව සඳහා පළමුව ඉදිරිපත් වන පුද්ගලයාට වාසි සහගතය. ඔහු ලබාදෙන මුදලට වැඩි මුදලක් බුලත් කොළයක ඔතා ආපසු භාර දීම නායකත්වයේ සිරිත වෙයි.

(III) ඉතිරි කිරීම, මෙලෙස ගනුදෙනු කළ මුදල් විය – පැහැදම් නොකොට සුරක්ෂිතව තබාගැනීම සිරිත වේ. එය ආයෝජනයක් සේ සලකනු ලැබේ.

(IV) ආශීර්වාද ලැබීම – සෑම ගනුදෙනුවක් අවසානයට ප්‍රභූ තැනැත්තා දීර්ඝ ආශීර්වාදයක් සිදු කරයි. මේ සඳහා පුවක් මලක් යොදා ගන්නා අවස්ථා ද තිබේ. එම ආශීර්වාදය නිසා පුද්ගලයා නැවත වැඩට බසින්නේ දැඩි තෘප්තියකින් හා පරිපූර්ණ මනසකින් යුතුවය.

පුණ්‍ය ක්‍රියාවල හෙවත් පින්කම් කටයුතුවල යෙදීමත් අවුරුද්දේ එක්තරා වගවීමකි. නොනගතය හෙවත් නැකැත් නැති කාලය මුළුමනින් ම යොදාගත යුත්තේ පින්කම් සඳහාය. කෙළි – සෙල්ලම් සඳහා කාලය යොදාගත යුත්තේ පින්කම්වලින් පසුව බව සඳහන් වේ. සමාජය වෙත අර්ථපූර්ණ නව මිනිසකු ඉදිරිපත් කිරීම අලුත් අවුරුද්දේ පරමාර්ථය වෙයි. ඒ අනුව අලුත් අවුරුද්ද නිසා පුද්ගලයා හා සමාජය අතර පවත්නා සම්බන්ධය අලුත් වෙයි. තහවුරු වෙයි. වඩාත් ශක්තිමත් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT