නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක් ඉතා ඉක්මනින් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසීය.
ශ්‍රී ලංකා පොලීසිය මහජන මුදලින් නඩත්තු කරන නීතිය හා සාමය ආරක්ෂා කිරීම වගකීම කරගත් ආයතනයකි. ශ්‍රී ලංකාව පුරා අපරාධ හා රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීම, මහජන ආරක්ෂාව ඉහළ නැංවීම, සාමය පවත්වා ගැනීම සහ සාමය ආරක්ෂා කිරීම පොලිස් බළකාය සතු වගකීම් අතර වෙයි.
වසර 160කට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලිස් සේවයේ පොලිස්පතිවරයාගේ සිට ආධුනික පොලිස් කොස්තාපල් දක්වා 80,000කට ආසන්න නිලධාරීන් පිරිසක් ඇතත් ඒ පිළිබඳ විවිධ සමාජයීය ප්‍රතිවිරෝධතා ද ගොඩනැඟුණි.
වරෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතන අතර පොලීසිය ඉහළින්ම ඇති බවයි. දූෂණ සහ අක්‍රමිකතා සඳහා විවිධාකාර මට්ටමේ සහාය ලබාදීමත් පොලීසිය දේශපාලනීකරණය වීමත්, අල්ලස දූෂණය හා පගාව වැනි සිදුවීම් නිසා නීතිය නිසි පරිදි ඉටු නොවීම වැනි කාරණා ඒ අතර සඳහන් විය. මේ නිසා උක්ත කාරණය පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රවේශීය මැදිහත්වීම ඉතා අගය කළ යුත්තක් බව සඳහන් කළ යුතුය. එය කාලාන්තරයක් තිස්සේ මෙරට ජනතාව අපේක්ෂා කරන ලද කාරණයකි.
නමුත් මෙහිදී සමස්ත පොලීසියම දූෂිත හෝ කළු පැහැති ආයතනයක් යැයි හඳුනාගැනීමට අපි කැමැති නැත. වඩාත් සාධනීය වූ සේවාවක් ලබාදෙමින් ගෞරවනීය ලෙස කටයුතු කරන නිලධාරි පිරිසක් ශ්‍රී ලංකා පොලීසියේ සිටි බව ඔවුන්ට ගරු කිරීමක් ලෙස පළමු කොටම සඳහන්කොට තබමු.
නමුත් එය පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ලක්වන ජනතාවට වඩාත් විශ්වාසනීය සේවාවක් ලබාදීම සඳහා මුල පිරීම හෝ කළ යුතුය.
අවම වශයෙන් හෝ පොලීසිය යන වචනයෙහි තේරුම නිරූපණය වන පරිදි හෝ ක්‍රියාකාරිත්වයක් ජන සමාජය අපේක්ෂා කරයි. Police යන වචනයෙහි පහත පරිදි තේරුමක් ගැබ්ව තිබෙයි.
P -politeness ආචාරශීලීත්වය
O- Obedience – අවනතභාවය
L- Loyalty – පක්ෂපාතීත්වය
I – intelligence – බුද්ධිමත්භාවය
C- courtesy – ගුණවත්කම
E- Efficiency – කාර්යක්ෂමතාව
මේ පිළිබඳව විමසා බැලීමේදී අපට සිතෙන්නේ අලුත් අමුතු ගුණාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවුණත් පොලීසිය තමන්ගේ නමට ගැළපෙන පරිදි කටයුතු කිරීම පමණක්ම ප්‍රමාණවත් වන බවයි. ගැටලුව වන්නේ එසේ නොවීමයි.
පොලීසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සඳහා වරෙක පොලිස් නිලධාරින් පිරිසක් බ්‍රිතාන්‍යයේ පුහුණුවකට ද යවා තිබිණි. එසේ තිබියදීත් කාලාන්තරයක් තිස්සේ අත්අඩංගුවට පත්වන විවිධ වර්ගයේ අපරාධකරුවන් ආයුධ පෙන්වීමට ගොස් මරුමුවට පත්වන ආකාරය පිළිබඳ නාටකීය ප්‍රවෘත්ති ද පසුගිය දිනවල අපට අසන්නට ලැබිණි. කාලාන්තරයක් තිස්සේ එකම තිර පිටපතේ නළු නිළියන් පමණක් වෙනස් වී එකම ප්‍රතිඵලයක් ලැබීම පිළිබඳව අපට නම් ඇත්තේ කනගාටුවක් පමණකි.
එසේම පොලිස් අත්අඩංගුවේ දී තරුණයකු මියයෑම පිළිබඳ සිද්ධියක් ද පසුගියදා දැඩි ආන්දෝලනයකට ලක් විය.
පොලිස් නිලධාරින්ගේ සේවයට අදාළ සියලු යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳව දැක්වෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතයි.
පොලීසිය පිළිබඳ සාධනීය ලක්ෂණ ගණනාවක් ඇති බව අපි යළි වතාවක් සටහන් කොට තබමු. නමුත් ඒ සියල්ලෙන් පොලීසිය පිළිබඳව ඇති වන නරක රූපය පිස දැමිය හැකි නොවනු ඇත. පොලිස් නිලධාරියකු යනු පවතින රාජ්‍යතන්ත්‍රයේ
නිලධාරී බල ව්‍යුහය නීතිය හා සාමය නිශ්චිත නිල ඇඳුමක් තුළ රැගෙන යන බලයලත් නිලධාරියෙකි. ඒ නිසා සමස්ත පොලිස් සේවය පිළිබඳ යහපත් සමාජ ප්‍රතිරූපයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයකි.
අල්ලසට හෝ දූෂණයට යට නොවූ දේශපාලනීකරණය නොවුණු පොලිස් සේවයක් ගොඩනඟාගැනීම තරමක් දුෂ්කර සහ අසීරු කාර්යයක් වූවත් රාජ්‍යයේ යහපැවැත්ම සඳහා එය අනිවාර්යයෙන්ම කළ යුතු වන කාරණයකි. මන්දයත් මෙතෙක් කලක් පැවතියේ දේශපාලන බලධාරින්ට පක්ෂපාතී වූ පොලීසියකි.
ඒ වෙනුවට ජනතාවට පක්ෂපාතී වූ නීතිය හා සාධාරණය පිළිබඳ බලාපොරොත්තු පළ කළ හැකි පොලීසියක් ගොඩනැංවීම අත්‍යවශ්‍ය කාරණයකි.
පොලීසියෙන් සිදුවන අල්ලස් දූෂණ පිළිබඳව දැනුම් දීමට වරෙක ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් ද හඳුන්වා දුන් බවක් අපගේ මතකයේ වෙයි. පොලීසියේ අදූරදර්ශීභාවය සහ දූෂිතභාවය පිළිබඳව මෙය තරම් තවත් සාක්ෂියක් පවතින්නේ ද?
රාජ්‍ය සේවයේ දූෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටින බවත් පොලීසියේ පළාත් පාලනය සහ නියාමකයන්ගේ රැකියාවලට සැලකිය යුතු බලයක් සහ අධිකාරියක් හිමි වන බවත් වඩාත් පැතිරයන වඩාත් පැමිණිලි කරනු ලබන සහ වඩාත් විනාශකාරී දූෂණ, වංචා සිදු වන්නේ පොලීසියේ හා රජය නිලධාරීන් අතින් බවත් මීට පෙර ඒ පිළිබඳව සමීක්ෂණයක යෙදුණු වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කොට තිබිණි.
එසේ නම් ප්‍රතිසංස්කරණය කළ යුතු පොලීසියක් පිළිබඳව ජනපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සමඟ අපිදු සියයට සීයක් එකඟ වෙමු. එය පමා වී හෝ පීඩිත ජන සමාජයට යුක්තිය ඉටු කරවීමක් වන්නේය. දූෂිත ආයතන සහ නිලධාරි පෙළැන්තියකින් සමන්විත ආයතනයක් එක්වරම අදූෂිත කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇත.
පොලීසියේ දැක්ම මත පදනම්ව පළමුව ඒ පිළිබඳව වන ආකල්පමය වෙනසක් එම නිලධාරි පෙළැන්තිය තුළ ඇති කළ යුතු අතර එය පොලීසියේ ඉහළ සිට පහළ දක්වාම ව්‍යාප්ත විය යුතු කාරණයකි. ඇතැම් විටක ඒ පිළිබඳ මනෝවිද්‍යාත්මක වැඩසටහන් ද අත්‍යවශ්‍ය විය හැකිය.
දෙවනුව මේ පිළිබඳව වන වඩා විශ්වසනීයත්වය තහවුරු කිරීම ද අත්‍යවශ්‍ය කාරණයකි.
ඊට ප්‍රධානතම හේතුව රටේ පොලිස්පතිවරයා ද මේ වනවිට බන්ධනාගාරගත වීමයි.
ග්‍රාමීය සමාජය කියමනකින් එය පැහැදිලි කරන්නේ නම් එය මඩිස්සලයට හෙණ ගැසීමකි. මඩිස්සෙලයට හෙණ ගැසූ විට හුනු කිල්ලෝටය නොබලාම වීසි කරන්න යැයි කියමනක් පවතී.
නමුත් අපි මේ තත්ත්වය තුළදී ද යහපත් සමාජ වෙනස්කම් අපේක්ෂා කරමු. ජනපතිවරයාගේ ප්‍රකාශයේ ඇති ප්‍රායෝගිකත්වය සහ වර්තමාන සමාජ වටිනාකම ඒ සමාජ බරින්ම තේරුම් ගැනීමට අපි උත්සාහ කරමු.
එනිසා ප්‍රතිසංස්කරණය වූ පොලීසියක් පමණක් නොව වඩාත් පිරිසුදු වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් අපි අපේක්ෂා කරමු.