Home » කොටු කපන නීති විරෝධී සූදුවට අහුවෙන්න එපා – ලොතරැයි මණ්ඩලයෙන් නිවේදයක්

කොටු කපන නීති විරෝධී සූදුවට අහුවෙන්න එපා – ලොතරැයි මණ්ඩලයෙන් නිවේදයක්

by yasara
April 10, 2025 3:55 pm 0 comment

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදිනු ලබන මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහි අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් විසින් නීති විරෝධී ලෙස කොටු කැපීම නැමැති සූදුවක් ක්‍රියාත්මක කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.

මෙම නීති විරෝධී සූදුවට මේ වන විට සැලකිය යුතු මහජනතාවක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී තිබෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සිදු කරන ලද වැටලීම් වලින් අත්අඩංගුවට ගත් මෙම නීති විරෝධී සූදුව ක්‍රියාත්මක කරන පුද්ගලයින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයන්ට අධිකරණය විසින් දණ්ඩයන් පනවා ඇත.

එවැනි නීති විරෝධී සූදු පොලක් පවත්වාගෙන ගොස් තිබූ මැදගම ,මීගහවගුර ප්‍රදේශවේ පදිංචි කේ.එම් අජිත් බණ්ඩාර නැමැත්තෙකුට එරෙහිව සූදු සෙල්ලම් පොළක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ අංක 59967 දරන නඩුව විභාග කල ගරු අධිකරණය එම පුද්ගලයාට මාස 10 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.එයින් මාස දෙකක් සක්‍රීය සිරදඬුවමක් වන අතර ඉතිරි මාස 08 අත්හිටවූ සිර දඬුවම් වෙයි

එවැනිම චෝදනාවක් යටතේ මැදගම ,මියනකඳුර ,කොටබෝව පාර ,02 කණුව පදිංචි ජේ.ජී. මංගල ප්‍රසාද් දමිත් කුමාර නැමැත්තෙකුට එරෙහිව සූදු සෙල්ලම් පොළක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කර තිබූ අංක 59968 දරන නඩුව විභාග කල අධිකරණය එම පුද්ගලයාට මාස 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.එයින් මාස 02 ක් සක්‍රීය සිරදඬුවමක් වන අතර ඉතිරි මාස 08 අත්හිටවූ සිර දඬුවම් වේ.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීති විරෝධී ලොතරැයි සූදු පොලවල් පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති අතර මෙම නීති විරෝධී සූදුවට සම්බන්ධ නොවන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික ලොතරැයි මණ්ඩලය අලෙවි කරන ටිකට්පත් වලින් ලැබෙන ආදායමින් 20% ක් පමණ මුදලක් ලොතරැයී අලෙවි කරන අලෙවි ජාලයේ නියුතු බෙදාහරින්නන් ,නියෝජිතයින් සහ අලෙවිකරුවන්ට ලබාදෙන අතර එමගින් පවුල් 20000 කට අධික ප්‍රමාණයක් ජිවනෝපාය සලසා ගනි.ලොතරැයි අලෙවි ආදායමින් 50% ට වැඩි ප්‍රමාණයක් තෑගි සඳහා වෙන් වන අතර ඉතිරි මුදලින් රටේ පොදු මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මහා භාණ්ඩාගාරය වෙත මුදල් සපයා දෙනු ලැබෙයි.ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බදු ආදායම ලබා දීමද සිදු කරනු ලැබේ.මණ්ඩලයේ සේවයේ නියුක්ත නිලධාරීන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් කරනුයේ ඉතිරි මුදලිනි.

ඒ අනුව ලොතරැයියක් මිලදී ගන්නා ජනතාව රටේ සංවර්ධනයට සහ පුරවැසියන්ගේ ජීවනෝපායට විශාල දායකත්වයක් සපයන අතර ජාතික ලොතරැයි මණ්ඩලය පොදු මහජන අභිලාශය වෙනුවෙන් ඊට අදාළ සේවාව ඉටු කරනු ලැබේ.

කොටු කැපීමේ සූදුවේ නිරත පුද්ගලයින් විසින් එවැනි කිසිදු මහජන සේවාවක් ඉටු නොකරන අතර ඔවුන්ගේ එකම ඉලක්කය වනුයේ නීති විරෝධී ලෙස මහජනයාගේ මුදල් එකතු කිරීම පමණි.එවැනි තත්ත්වයක් යටතේ මෙම නීති විරෝධී ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT