Home » දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා

දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා

දූෂණ විරෝධී ජාතික සැලැස්ම එළිදක්වමින් ජනපති කියයි

by mahesh
April 10, 2025 1:02 am 0 comment

උපාලි කරුණාරත්න, චමීර ඇල්ලදෙණිය

අල්ලස ‍හා දූෂණය නමැති අපරාධයෙන් දේශපාලන යන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්,නිලධාරි යන්ත්‍රණය ද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්,නිලධාරී යන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (09) පැවති ” දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029″ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්. එන්. පී.ඉද්දවල මහතා විසින් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්,වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හයේ රාජ්‍ය සේවයේ කිසිම ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මේ මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

අල්ලස හා දූෂණය නැමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකයේ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද මෙහිදී අවධාරණය කළේය.

නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා,වැඩමුළු ප්‍රමාණවත් නැති බවත්,අපරාධයකට දඩුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළයුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධ වන ඖෂධ ගෙන ඒම දක්වාත්,සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්,ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවේ සොරා කන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතුවලට හිටපු පාලකයන් ආරක්ෂාව සැපයූ බවද සිහිපත් කළේය.

රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පසිඳලන ආයතනවල කීහිප දෙනෙකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා,එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කළේය.

අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබා ගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද කියා සිටියේය.

ජනතාවගේ සෑම රුපියලකටම වග කියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේ කිරීමෙන් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ විශ්වාසනීයත්වයක් පුරවැසියාට ඇති කළ හැකි බවද අපරාධයක් සිදු කර නීතියෙන් බේරී යෑමට කිසිම අවස්ථාවක් නැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවද වැඩිදුරටත් පැවසීය.

” දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 ”මගින් රට “සුපිළිපන් දේශයක් කරා” ගෙන යෑම අරමුණ වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය නිරීක්‍ෂණය කළහැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගීත්වය,ආයතනික ශක්තිමත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ සලසන උපායමාර්ගික ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා මේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස හා දූෂණය තුරන් කිරීම වඩාත් තීරණාත්මක සාධකයක් වන අතර,ශ්‍රී ලංකාවේ, එකී යන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හඳුනාගත හැකිය.ඒ අනුව,අල්ලසින් තොර සමාජයක් නිර්මාණය කිරීම උදෙසා සියලු අංශ හරහා ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය.

මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේ දී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව,ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් පවත්වන ලද අතර,භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ජාල හරහා දූෂණ ගැටලු පිළිබඳ මහජන මතය තක්සේරු කිරීමට සිදු කරන ලද පුළුල් සමීක්ෂණයක් ද එයට ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,විනිසුරුවරු, රාජ්‍ය නිලධාරීන්,පෞද්ගලික අංශය,අන්තර්ජාතික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන,ප්‍රජා පාදක සංවිධාන,ආගමික කණ්ඩායම්,විවිධ අවශ්‍යතා ඇති කණ්ඩායම් , ජනමාධ්‍ය,තරුණයන්,ළමයින් ඇතුළු සමස්ත මහජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය අත්දැකීම් සහ සියලුම පළාත්වල විවිධ කණ්ඩායම්වලින් රැස් කරන ලද යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.

මේ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරමින්,දූෂණයට එරෙහිව සටන් කරන, දුෂණය පිටු දකින පුරවැසියන් පිරිසක්, දුෂණයට එරෙහිව සටන් කිරීමට සියලු ආකාරයෙන් සහාය දෙන දේශපාලන කැමැත්තක්,නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පසුතලයන් සහ සුපිළිපන්න රාජ්‍ය සේවයක් සමඟ සියලු ක්ෂේත්‍රයන්හි සුපිළිපන් බව ඇති කරමින්,අනාගත පරපුරට සුපිළිපන්න රටක් උදා කරදීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා-

ඊයේ දිනයේදී අයි.එම්.එෆ් දූත මණ්ඩල ප්‍රධානියෙක් වශයෙන් කටයුතු කළ පීටර් බෘෘවර් මහතා ප්‍රකාශ කළේ,මෙරට පසුගිය ආණ්ඩු විසින් ගත් ප්‍රතිපත්තිමය වැරදි තීන්දු නිසා ජනතාවට දුක්විදීමට සිදුවූ බවයි.ඔහු එම පදවියෙන් නික්ම යන අවස්ථාවේදී එසේ ප්‍රකාශ කළ බව ද පැවසූ ජනාධිපති ලේකම්වරයා මේ ප්‍රතිපත්තිමය වැරදි තීන්දු ගැනීම පිටුපස දූෂණය තිබෙන බවද කීය.ඒ නිසා ජනතාව පැවැති ආණ්ඩු ප්‍රතික්ෂේප කළ බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතා ද මේ උත්සව සභාව ඇමතූ අතර මෙතෙක් පැවැති පාලකයන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාවෙන් ඈත්ව ගිය ආයෝජකයන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා නැවත ශ්‍රී ලංකාවට සමීප වෙමින් සිටින බවද තානාපතිවරයා පැවසීය.

විනිවිදභාවය සහ යහපාලනය තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා මූලික කුලුනු බව දැඩි ලෙස විශ්වාස කරන බැවින්,ජපානය ලොව පුරා දූෂණය වැළැක්වීමේ පියවරට සහාය දක්වන බව ද ජපාන තානාපතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසූසා කුබොටා මහත්මියද මෙහිදී අදහස් දැක්වූ අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පළමු ජාතික බදු ගෙවන්නන්ගේ සංගණනයේදී කළ සමීක්ෂණයට අනුව,ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 84% ක් දූෂණය,බදු ගෙවීමට ඇති කැමැත්තට සෘජුවම බලපාන බව පෙන්වා දී තිබෙන බව ද සඳහන් කළාය. දූෂණය ආයෝජන වළක්වන බවත් ව්‍යාපාර කිරීමේ පිරිවැය වැඩි කරන බවත් තිරසාර සංවර්ධනය සහ මානව ආරක්ෂාව අඩාළ කරන බවත් දූෂණය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.3කට අහිමි වන බවත් කොබොටා මහත්මිය පෙන්වා දුන්නාය.

මෙවර අයවැය කතාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන් පරිදි බදු ගෙවන්නන්ගේ සෑම ශතයකටම රාජ්‍ය වගකිව යුතුය යන ක්‍රියාකාරී සැලැස්ම ශ්‍රී ලාංකික සමාජයේ පරිවර්තනය සඳහා මාර්ග සිතියමක් වනු ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු,නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ.දිසානායක මහත්ම මහත්මීහු ද, ත්‍රිවිධ හමුදාපතිවරුද ,පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද, රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මේඅවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- වාසිත පටබැදිගේ 
ජනාධිපති මාධ්‍ය අංශය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT