පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ටී-56 ගිනිඅවි දෙක පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන නොමඟ යවා අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකපිට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් පෙරේදා (08) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ කරදියනාරු දිසා බුද්ධි කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරත මෙම කොස්තාපල්වරයා සිදු කර ඇත්තේ වව්නතිව් ඝාතනයේ සැබෑ අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දක්වා අපරාධ සිදු කිරීමට අවකාශ සැලසී ඇති බවට චෝදනා එම නිලධාරියාට එරෙහිව එල්ල වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම සිදු වන්නේ 2018 වසරේ නොවැම්බර් 29 වැනිදාය.
කොස්තාපල්වරුන් වන නිරෝෂන් ඉන්දික හා දිනේෂ් අලගරත්නම් මෙසේ ඝාතනය වී තිබිණි.
මෙම ද්විත්ව ඝාතනය සිදු කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ කණ්ඩායම විසිනි. එහෙත් එකල ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් නමැත්තාය. ඒ 2018 වසරේ දෙසැම්බර් 02 වැනිදා මඩකලපුවේදීය. එල්.ටී.ටී.ඊ.යේ මහවිරු සැමරුම සඳහා මෙම ඝාතනය සිදු කළ බව එකල කියැවුණු අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අජන්තන් මාස පහකට අධික කාලයක් ආරක්ෂක අංශ මඟින් රඳවාගෙන විමර්ශන පවත්වනු ලැබීය.
අජන්තන් අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ වව්නතිව්හි මුරපොළ ආසන්නයේ ඇති බෝක්කුවක් යට තිබී සොයාගත් ජැකට් එකක් පොලිස් නිල සුනඛයන් විසින් කළ ඉව කිරීමක් මුල්කරගෙනය. ද්විත්ව ඝාතනයෙන් දින තුනකට පසු එම ජැකට්ටුව සොයාගෙන තිබිණි. එම බෝක්කුව අසල ජල පහරක් ගලාගෙන යන අතර කුඹුරු ඉඩමක් ද ඇත. කුඹුරේ වගා කටයුතු කරන ගොවියා පවසා ඇත්තේ තමා කුඹුරට යන්නේ එම බෝක්කුව අසලින් බැස බවත් පෙර දිනයේදී මෙවැනි ජැකට්ටුවක් එහි නොතිබුණු බවත්ය.
පෙර දින වර්ෂාව පවා ඇදහැළී තිබුණත් ජැකට් එක අලුත් පෙනුමට තිබී ඇත. එම ජැකට් එක ගැන තොරතුරු ලබාදුන්නේ යැයි පැවසෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියාය. පොලිස් සුනඛයා ගමන් කර ඇත්තේ අජන්තන් වව්නතිව්හි පදිංචිව සිටි නිවෙස වෙතය. ජැකට්ටුව තිබුණු ස්ථානයේ සිට කිලෝමීටර හතරකට ආසන්න දුරක් අජන්තන්ගේ නිවෙසට ඇති බවත් සුනඛයා එම දුරම ඉව කරමින් ගිය බවත් එකල කියැවිණි. එම ජැකට්ටුව අජන්තන්ගේ බව ඔහු ද පිළිගෙන තිබිණි.
මෙම ද්විත්ව ඝාතනයට අජන්තන් හෝ එල්.ටී.ටී.ඊ.යේ සම්බන්ධයක් නොවන බව අනාවරණය වන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි. ඒ සහරාන්ගේ රියැදුරා අත්අඩංගුවට ගැනීමත් සමඟ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය ඔවුන් විසින් සිදු කළ බව හෙළි කිරීමත් සමඟිනි.
මෙහි ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් මිල්ලාන් නමැති අය සවුදියේ ජෙඩාවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදි. ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ වළ දමා තිබී පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් ගිනි අවිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සොයාගත්හ.