Home » මලල ක්‍රීඩකයන්ට අලුත් අවුරුද්දට කෝටියක් වටිනා තෑග්ගක්

මලල ක්‍රීඩකයන්ට අලුත් අවුරුද්දට කෝටියක් වටිනා තෑග්ගක්

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

බොඩි­ල­යින් ප්‍රධාන විධා­යක නිල­ධාරී සහන් රාජ­පක්ෂ මහතා විසින් මලල ක්‍රීඩක කාලිංග කුමා­රගේ වෙත නව ඇඳුම් කට්ට­ලය පිරි­නැමූ අයුරු. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ ලේකම් සමන් ගුණ­ව­ර්ධන, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ සභා­පති මේජර් ජෙන­රාල් පාලිත ප්‍රනාන්දු, මාස් හෝලිඩිං සමූහ නිෂ්පා­දන පරි­ව­ර්තන නිල­ධාරී ඩිල්ශාන් මොහ­මඩ් හා බොඩි­ල­යින් මානව සම්පත් සහ තිර­සර ව්‍යාපාර අධ්‍යක්ෂ සසිනි සෙන­රත් යන මහත්ම මහ­ත්මීහු ද මෙහි වෙති.

ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ප්‍රබල සන්නාමයක් ඇති MAS නාමය යටතේ අනුබද්ධිත බොඩිලයින් පෞද්ගලික සමාගම මේ වසරේ පැවැත්වෙන දෙස් – වි‍දෙස් තරගාවලි සඳහා රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් නව නිල ක්‍රීඩා ඇඳුම් කට්ටල පරිත්‍යාග කිරීමට සැලසුම් කොට ඇත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල ඇඳුම් සහකරු ලෙස කටයුතු කරන එම ආයතනය පෙරේදා ඔලිම්පික් නිවහනේ පැවති උත්සවයකදී එම නව ක්‍රීඩා ඇඳුම් කට්ටල නිල වශයෙන් පරිත්‍යාගය කළේය.

බොඩිලයින් ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සමඟ එක්ව මලල ක්‍රීඩක කාලිංග කුමාර වෙත අලුතින් නිර්මාණය කරන ලද මලල ක්‍රීඩා ඇඳුම් කට්ටල නිල වශයෙන් පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය වසර 3ක් තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් 81ක් දිනා ගැනීමට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ බවත්, නිසි ප්‍රමිතියෙන් යුත් මලල ක්‍රීඩා ඇඳුම් කට්ටල භාවිත කිරීම එම ජයග්‍රහණවලට විශාල දායකත්වයක් වූ බවත් ය.

“මාස් ආයතනයේ ඇඳුම අපට වාසනාව ගෙන ආවා කියන්නත් පුළුවන්. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගවලට යද්දී අනෙක් රටවල දක්ෂයන් සමඟ කරට කර හැප්පී ජය ලබා තිබෙනවා. එවැනි ආසියානු හා ලෝක මට්ටමේ තරගවලදී අපි සියලු අංශවලින් දියුණු තත්ත්වයක සිටිය යුතුයි. මාස් ආයතනය අපේ ක්‍රීඩකයින්ට ඒ දායකත්වය ලබාදීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා” ප්‍රනාන්දු මහතා පැවසීය.

“ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම් වන විට, අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උසස් තත්ත්වයේ ඇඳුම්වලින් සන්නද්ධ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය විශේෂ කණ්ඩායමක් යොදා වෙනම අර්ථයකින් නිර්මාණය කළා. මේ ඇඳුම් කට්ටල තුළින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ උපරිම හැකියාවන් පෙන්නුම් කිරීමට විශ්වාසයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා” බොඩිලයින් ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා පැවැසීය. මේ මස 15 වැනිදා සවුදි ආරාබියා‍වේ දමාම්හි ආරම්භවන 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල මුලින්ම ‍ මේ නිල ඇඳුම භාවිත කරන අතර, අනතුරුව මේ වස‍රේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහාය දිවීමේ ශූරතාවලිය, ආසියානු විසිකිරීමේ ශූරතාවලිය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඇතුළු ජාත්‍යන්තර ඉසව් මාලාවකට නව ඇඳුම් කට්ටල උපයෝගි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT